Thursday, August 18, 2016

අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell

අෂ්ඨ මහා නරක (ata maha naraka)

අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

අෂ්ඨ මහා නරක යනු මොනවාද?

අප මහා බුදු රජාණන් වහන්සේ වදාළ කාම ලෝක 11 ට අයත් සතර අපායෙන් එක් අපායක් වන නරකය හෙවත් නිරය ප්‍රධාන කොටස් 8 කට බෙදා දක්වා ඇත. මේවා අෂ්ඨ මහා නරක ලෙස හැඳින්වේ. සත්ත්වයා තම කර්ම ශක්තියේ අධාරයෙන් මෙකී නරක වල ඕපපාතිකව උපත ලබා අකුසල කර්ම ක්‍ෂය වූ කළ නැවත චුත වෙයි.

මෙම අෂ්ඨ මහා නරක පිළිවෙලින් පහත දැක්වේ.
  1. සංජීව නිරය
  2. කාල සූත්‍ර නිරය 
  3. සංඝාත නිරය
  4. රෞරව නිරය
  5. මහා රෞරව නිරය
  6. තාප නිරය
  7. ප්‍රතාප නිරය
  8. අවීචි මහා නිරය

1.සංජීව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් පළමු වන නරකය වන මෙම නිරයට අද වැටෙන නිරිසත්ත්වයාව රක්ත වර්ණ වන සේ රත් වූ ලෝහ ආයුධ වලින් තලා, පෙලා, කපා විවිධ වූ වධ බන්ධන පමුණුවයි. . කර්මානුරූපව එකම දඬුවම නැවත නැවත විඳීමට සිදු වන නිසා මෙම නිරය සංජීව නිරය ලෙස හඳුන්වා ඇත.

විහාරස්තාන විනාශ කිරීම, බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම, ඒවාට අගෞරව කිරීම, අන් අයගේ වාසස්ථාන විනාශ කිරීම වැනි දුසිරිත් වල යෙදුනවුන් මෙම සංජීව නිරයේ ඉපිද අපා දුක් විඳිති.

මිනිසුන් හට අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව් ලොවෙහි දෙවියන්ට එක් දවසකි. එවන් තිස් දවසක් එම දෙව් ලොවෙහි මාසයකි. එවන් මාස 12ක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එම දෙවියනට අවුරුදු 500ක් ආයුෂ ඇත. එම දිව්‍යායුෂ වූ අවුරුදු 500 සංජීව නරකයෙහි එක් දවසකි. එවන් තිස් දවසක් මාසයක් වෙයි. එවන් මාස 12ක් අවුරුද්දක් වෙයි. එවන් අවරුදු 500ක් එම නිරයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ අනූ ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි.

එබඳු දින තිහක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර 500ක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

2.කාල සූත්‍ර නිරය

අෂ්ඨ මහා නරක අතුරින් දෙවන නරකය වන මෙම නිරයට අද වැටෙන නිරිසත්ත්වයින්ගේ සිරුරෙහි කළු පැහැ නූලකින් සලකුණු තබා එම සලකුණු ඔස්සේ වෑයකින් රහිනු ලැබේ. මෙසේ සිරුර කළු නූලකින් සලකුණු කර දණ්ඩනයට භාජනය කරන බැවින් මෙම නිරය "කාල සූත්‍ර" නිරය ලෙස හඳුන්වා ඇත.  තම අකුසල කර්ම ගෙවී යන තෙක් සත්ත්වයාට මෙම නිරයේ අපා දුක් විඳීමට සිදු වන බව ධර්මයේ දක්වා ඇත.

දෙමව්පියනට නොසැලකීම, සුරා සූදුවට ඇබ්බැහිව සිටීම, අන් අයගේ දේපල, වස්තුව වංචනිකව තමා සන්තක කර ගැනීම, අන් අයගේ අයහපත උදෙසා හදී හූනියම් කිරීම වැනි අකුසල කර්ම වල යෙදුනවුන් මෙම නිරයේ ඕපපාතිකව පහළව අනන්ත වූ අපා දුක් විඳිති.

මිනිසුන් හට අවුරුදු 100ක් තව්තිසා දෙව් ලොවෙහි දෙවියන්ට එක් දවසකි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර 1000 ක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

3.සංඝාත නිරය

අෂ්ඨ මහා නරක අතුරින් තෙවන නරකය වන මෙම නිරයෙහි උපත ලද තැනැත්තාව දීප්තිමත් උණුසුම් වළල්ලකින් දුහුවිලි වන තරමට කුඩා කැබලි වලට කඩා දමන බැවින් මෙම නිරය සංඝාත නිරය ලෙස හැඳින්වේ. මෙසේ කෙතරම් වධ බන්ධන දුන්නද සත්ත්වයා නැවත නැවත එලොවම පහල වේ, මෙය නවතිනුයේ, ඔහුගේ අකුසල කර්ම ගෙවී අවසන් වූ විටදී පමණි.

පොදු දේපල, අන් සතු දේපල ගසා කෑම, අවි ආයුධ වලින් මිනිසුන්, ගව මහීශාදීන්ට හිංසා පැමිණවීම හා ඝාතනය කිරීම, තම අඹු දරුවන් මුදලට විකිණීම වැනි කරුණු හේතුවෙන් සත්ත්වයෝ මෙම සංඝාත නිරයේ උපත ලබති.

මිනිසුන් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

4.රෞරව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් සිව් වන නරකය වන මෙම නරකයේ උපත ලබන සත්ත්වයෝ ඉතා විෂ දුමකින් පිළිස්සෙන බැවින් නිතරම වේදනාවෙන් හඬන බව ධර්මයේ සඳහන් වේ. මෙම නිරය දූම රෝරුව හෙවත් රෞරව නිරය ලෙස හැඳින්වේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ජල මූලාශ්‍ර කෙළසීම වැනි අකුසල කර්ම කළවුන් කර්මානුරූපීව මෙම නිරයේ උපත ලබති. පාපී පුද්ගලයන්ට අල්ලස් දී ඔවුන් ලවා විවිධ දුසිරිත් සිදු කර ගත්තවුන්ද මෙම මහා නිරයේ පැසෙති.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

5.මහා රෞරව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් පස් වන නරකය වන මෙම නරකයෙහි උපත ලබන්නෝ පෙරදී සඳහන් කල නිරයේ සත්ත්වයින්ට වඩා මහා හඩින් විලාප දෙති. එබැවින් මෙම නිරය මහා රෞරව නිරය ලෙසින් හැඳින්වේ. ගිනි දැල් වලින් නිරන්තරයෙන් පිළිස්සෙමින් අපා දුක් විඳින සත්ත්වයින් සිටින මේ නිරය ජාල රෝරුව යන නාමයෙන්ද ධර්මයේ හඳුන්වා ඇත.

මෙලොව පමණක් ඇතැයි සිතා පරලොව විශ්වාස නොකරන්නවුන්ද, කර්ම ඵල විශ්වාස නොකරන්නවුන්ද, පොදු දේපළ සොරා කන්නවුන්ද, තම අඹු දරුවන් මුදලට විකුනූ අයද කර්මානුරූපව මෙම නිරයේ අපා දුක් විඳිති.

මිනිසුන් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

6.තාප නිරය

රක්ත වර්ණ වන තෙක් ගිනි ගත් අයෝමය උල් වලින් සිරුරු පාසා කරගෙන යන විටද නිසොල්මන්ව සිටීමට මෙම නිරයේ උපත ලද සත්ත්වයින්ට සිදු වේ. ඉතා දැඩි තාපය හමුවේ දුක් විඳීමට සිදුවන බැවින් මෙම නිරය තාප නිරය ලෙස  හඳුන්වයි. බොහෝ කලක් රත් වූ අයෝමය දඬු මතින් දුක් විඳිනා බැවින් මෙම නිරය තාපන හෙවත් චුල්ල තාපන නිරය නමින්ද ධර්මයෙහි දක්වා ඇත.

අධර්මිෂ්ඨව සතර අගතියෙන් රාජ්‍ය පාලනය කළ රාජ මහාමාත්‍ය වරුද, ජනතා බදු මුදල් අයතා ලෙස පරිහරණය කරමින් තම යසස වඩා ගත් නිලධාරීන්ද, තම වැටුපට සරිලන සේ අවංකව සේවය නොකරන සේවකයින්ද, මෙම තාප නිරයේ කර්මානුරූපව පහළ වී අකුසල කර්ම ක්‍ෂය වන තෙක් අපා දුක් විඳිති.

මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

7.ප්‍රතාප නිරය

අෂ්ඨ මහා නරක අතුරින් සත් වන නරකය වන මෙම නිරයේ පහළ වන සත්ත්වයින්ව ගිනි ගෙන දැවෙන අයෝමය කඳු මුදුන් වලට නංවා ලන අතර එහිදී හමන අධික උණුසුම් සුළඟින් දැවී පහළ ඇති ගිනියම් වූ අයෝමය පොළොව මතට ඇද වැටේ. සත්ත්වයාගේ අකුසල කර්ම ක්‍ෂය වන තාක් ඔවුහු මෙලෙස අපා දුක් විඳිති. ගිනියම් වූ ලෝහ බිම මත අදික ගිනි රශ්මියෙන් පිළිස්සෙන බැවින් මෙම නිරය ප්‍රතාප නිරය ලෙස හැඳින්වේ.

පණ පිටින් සතුන් සහ මිනිසුන් පිළිස්සීම, වාසස්ථාන ගිනි තැබීම, වනාන්තර ගිනි තැබීම, ආහාර පාන ගිනි තබා විනාශ කිරීම, අහාර පානාදියට වස විස එකතු කිරීම, කුරිරු ලෙස අවි ආයුධ පරිහරණය කිරීම, දුස්සීල භික්ෂූත්වය  වැනි පාපී ක්‍රියා සිදු කළ සත්ත්වයෝ කර්මානුරූපීව ඕපපාතිකව මෙම නිරයේ උපත ලබති.

මෙකී ප්‍රතාප නිරයේ ආයුෂ අන්තඃ කල්ප භාගයකි.

8.අවීචි මහා නිරය

 මෙය අෂ්ඨ මහා නිරයන්ගෙන් දරුණුතම නිරයයි. මෙම නිරයෙහි බුර බුරා නැගෙන ගිණි දැල් අතර පරතරයක් නොමැති බැවින් මෙහි පහළ වූ නිරිසත්ත්වයෝ නිරතුරුවම පිළිස්සෙමින් අපා දුක් විඳිති. මෙම නිසා මෙම නිරය අවීචිය ලෙස ධර්මයේ දක්වා ඇත. ඉතා දරුණු පාප කර්ම කළ පුද්ගලයින් මෙම නිරයට වැටී අපා දුක් විඳී.

පංච ආනත්තරීය පාප කර්ම, නියත මිත්‍යා දෘෂ්ඨිය වැනි බරපතල ගනයේ පාප කර්ම කළ සත්ත්වයෝ මෙම නිරයෙහි ඉපිද අනන්ත වූ අපා දුක් විඳිති. නන්ද, දේවදත්ත වැනි පුද්ගලයින් අපාගතව අවීචි මහා නරකයෙහි උපන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත.

මෙම භයංකර නිරයේ ආයුෂ අන්තඃකල්ප එකකි.

මෙවන් වූ අති භයංකර මතු භවයක් අපේක්‍ෂා නොකරන්නේනම් අද අදම කුසල් දහම් හි යෙදෙන්න.

මෙම නිරයන්ට අමතරව තවත් කුඩා නිරයන් පිළිබඳව හා නිර පාලක යම රජු පිළිබඳවද බුද්ධ දේශනාවේ දක්වා ඇත. ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියකින් නැවත හමු වෙමු.

(ඉහත පරිදි ලෝකයෙන් ලෝකයට කාලය වෙනස් වීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට "අවකාශ කාලය විදු ඇසින් හා බුදු ඇසින්" ලිපිය කියවන්න.)

තෙරුවන් සරණයි...!

මතු සම්බන්ධයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු මූලාශ්‍ර ලෙස ධර්ම ග්‍රන්ථ හා අන්තර් ජාලය භාවිතා කරන ලදී.)

0 comments:

Post a Comment