"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා"

සියලු පාපයන්ගෙන් වැළකෙන්න. නිතර කුසල් දහම්හි යෙදන්න.

"නහී වෙරේණ වෙරාණී"

වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳේ.

"අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා"

බාලයන් ඇසුරු නොකරන්න. නිතර ප්‍රඥාවන්තයින් ඇසුරු කරන්න.

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"

"මහණෙනි, මම චේතනාවට කර්මය යයි කියමි."-ගෞතම බුදු රජාණන් වහන්සේ.

"සබ්බේ සංඛාරා අනිච්චන්තී"

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය.

Advertisement

Wednesday, August 17, 2016

සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana

     
සතර බ්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana

      බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී අකුසල සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලු බව ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත.

        මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. ශ්‍රී ලංකා ජාතික ධජයේ බෝ පත්‍ර සතරකින් නිරූපණය වන්නේ මේ උතුම් ගුණ ධර්ම සතරම වේ. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ. එවගේමේ රටක පාලකයකු තුල අනිවාර්යෙන් තිබිය යුතු වේ.

1.මෙත්තා (Meththa)

         සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් පළමු විහරණය මෙත්තා හෙවත් මෛත්‍රීයයි. මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමෙන් මෙම උතුම් ගුණාංගය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ කර ගත යුතු වේ. ඒ අනුව තමා කෙරෙහි හිතවත්වීම, තම නෑ හිත මිතුරන් කෙරෙහි හිතවත්වීම, මධ්‍යස්ථ පුද්ගලයන් කෙරෙහි හිතවත්වීම, සතුරන් කෙරෙහි හිතවත්වීම ප්‍රගුණ කළ හැකි ය. එකවරම, සමස්ත ලෝකවාසී සියලු සත්වයා වෙත හිතවත්වීම කළ නොහැකි බැවින්, ක්‍රම ක්‍රමයෙන් එය ප්‍රගුණ කර වර්ධනය කොට, ව්‍යාප්ත කළ යුතු ය. ප්‍රථමයෙන්, තමා තමාට හිතවත්වීම අත්‍යවශ්‍ය වේ. තමාට හිතවත්ව තම හිතසුව සලසා නොගන්නා පුද්ගලයාගෙන්, අනුන්ට හිත සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව, තමාගේ නිරෝගී බව, සැපවත්බව දියුණුව සැමවිටම ළඟා කර ගත යුතු ය. ඊළඟට පියවරෙන් පියවර මව්පිය, සහෝදර සහෝදරියන්, නෑ හිතවතුන්, ගුරුවරුන්, මධ්‍යස්ථ පිරිස, සතුරන් කෙරෙහි ආදී වශයෙන් හිතවත්බව හිතවත්වීම කළ හැකිවේ. මෙසේ ක්‍රම ක්‍රමයෙන් පුහුණුව වර්ධනය වූ මෛත්‍රී සහගත සිත (හිතකාමීබව) සමස්ත සත්ත්වයා කෙරෙහිම යොදා ගන්නා අන්දම, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළහ. ඒ අනුව, ක්‍රම ක්‍රමයෙන්, සිත තුළ හිතවත්භාවය වර්ධනය කර ගැනීමට දරන මානසික ව්‍යායාමය, මෛත්‍රී භාවනාව වශයෙන් හැඳින්වේ. එසේ උසස් මට්ටමට වර්ධනය වූ මෛත්‍රීය, බ්‍රහ්ම විහරණයකි.

2.කරුණා (Karuna)

            සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් දෙවන විහරණය කරුණාවයි. කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම, කරුණාවෙන් හදවත පුරවා ගත් පුද්ගලයාගේ ස්වභාවයයි. මිනිසකුගේ පමණක් නොව තිරිසන් සතකුගේ පවා අසරණභාවය, දුක්ඛිත භාවය දැක පිහිට වේ. ජාති, කුල, ආගම්, පරපුර, උස් පහත්කම් ආදිය ගැන නොසැලකේ. ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ තමන් දුක් පීඩා විඳිමින් වූවද, අන්‍යයන් දුක් පීඩාදියෙන් මුදවා ගෙන සැපවත් කිරීමට වෙහෙසෙති. තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන ඔවුහු සමාජයකට මහාර්ඝ වස්තු වේ. ආත්මාර්ථකාමීව, පටු හැඟීමෙන් ක්‍රියා කරන්නාට කරුණාව ව්‍යාප්ත කිරීම අසීරුය. කෙටියෙන් දක්වතොත් කරුණාව තම නිවසට, කාර්යාලයට, වැඩපොළට, ගමට රටට, ජාතියට පමණක් සීමා කර ගත යුත්තක් නොව, සමස්ත විශ්වයටම පොදුවේ ව්‍යාප්ත කරලිය යුතු, උතුම් ගුණ ධර්මයකි. මහා කරුණාවෙන් පිරි උතුමෝ, සමස්ත විශ්වය සිය පවුල ලෙස සලකා, අනුකම්පාවෙන් ක්‍රියාකර සෑම සත්ත්වයකුටම ශාන්තිය උදාකරති. ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේ ඊට හොඳම නිදසුනකි.

3.මුදිතා (Muditha)

          සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් තෙවන විහරණය මුදිතාවයි.  අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි. අන්‍යයන්ගේ දුක් දොම්නස්, කරදර හිරිහැර ආදියේදී අනුකම්පාව දැක්වීම තරමට අනුන්ගේ සැපත සතුට දියුණුව දැක සතුටුවීම, හෝ පී‍්‍රතිවීම පහසු දෙයක් නොවනු ඇත. එම අපහසු තත්ත්වය, යම් පුද්ගලයකුට තම සිත තුළ පහළ කර ගත හැක්කේ, නම් එය උසස්ම ස්වභාවයකි. සතුටට පත්වන්නේ තම නෑදෑයකු හිතවතකු නිසාද එය මුදිතාව නොවන අතර, කිසිදු භේදයක් නැතිව සමාජයේ ඕනෑම කෙනෙකුගේ සැපවත්වීම දැක අවංක සිතින් සතුටුවීම මුදිතා ගුණයයි. අල්ලස් ගැනීම, දූෂණය, සොරකම් කිරීම, මංකොල්ලකෑම ආදී දුසිරිත් තුළින් ධනවත්ව පී‍්‍රතිවන පුද්ගලයකු කෙරෙහි ඇති කර ගත යුත්තේ මුදිතාව නොව කරුණාවකි. දැනට තාවකාලික සතුටක්, ලැබුවත් ඔහු විසින් කරන ලද දුසිරිත් නිසාම අනාගතයේ දුකට පත්වන අන්දම සිතා බැලීමෙන් ඇතිවන්නේ අනුකම්පාවකි. මුදිතා ගුණයෙන් පිරි සමාජයක, භේද භින්නතා නැති අතර සොම්නස රජ කරයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉස්මතු නොවේ. ආධ්‍යාත්මික ගුණවගාවෙන් අනූනය.

4.උපේක්‍ෂා (Upeksha)

           සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් සිවු වන විහරණය උපේක්‍ෂාවයි.  උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ.

බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. ක්‍රෝධයක්, වෛරයක් සිත තුළ ඇති වූ විට මොනතරම් අසහනයක් දැනේද? එසේම මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂා සිතිවිලි සිත තුළ හටගත්විට මොනතරම් සහනයක් දැනේද? මොනතරම් සැපතක් ද? මෙසේ සමස්ත සමාජයම පෙළ ගැසෙන්නේ නම්, ලෝකය මොනතරම් ලස්සන වේද?

          මෙහි සාකච්ඡා කළ කුමන ප්‍රතිඵලයක් වූවද ලබාගත හැක්කේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව පුද්ගලයාගේ චරිතයෙන් වෙන් කළ නොහැකී අන්දමට චරිතයේම කොටසක් ලෙස සලකා ප්‍රගුණ කිරීමෙනි. ඒවා චරිතය පුරා විහිදී, තදින් සිත තුළ කාවැදුණහොත් පමණි. ස්වකීයත්වයෙන් තොරව, මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග චරිතය පුරා වගා කර ගැනීමට හැක්කේ, මිනිසාට පමණි. මේ අන්දමට, කුඩා කළ සිටම මනස පුරුදු කිරීම තුළින් වර්ධනය වන මානසික ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ප්‍රබල වේ.

තෙරුවන් සරණයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම බෞද්ධ සාහිත්‍යමය මූලාශ්‍ර වලිනි.)

Monday, August 8, 2016

අවකාශ කාලය විදු ඇසින් සහ බුදු ඇසින් - Space Time In Buddha's View

අවකාශ කාලය (කාල තරණය) - Space Time

කාලය (time) කියූ සැනින් අප හට මතකයට නැගෙන්නේ ඔරලෝසුවක කටුය. කාලය ගත වීම අපට අනුව නම් වේලාව වෙනස් වීම වේ. නමුත් මෙම කාලය යන සංකල්පය දාර්ශනිකයන් දුටු ආකාරය හා මේ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ කුමක් ද යන වග මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

අවකාශ කාලය පිළිබඳ විද්‍යාත්මක මතය - The Scientific view of Time


කාලය ගැන අතීතයේ සිටම විවිධ මත පැවත එයි. ලෝකයේ සියලුම භෞතික ද්‍රව්‍ය මාන 3 කින් සමන්විත වන බව අපි දනිමු. ත්‍රිමාන (3D) යන්නෙහි අර්ථයද මෙයම වේ. මීට අමතරව නූතන විද්‍යාව සිව් වන මානයක් ගැන කතා කරන වග ඔබ දන්නවා ද? මෙම සිව් වෙනි මානය පිලිබඳ මුලින්ම අදහස ඉදිරිපත් කරන්නේ "ඇල්බට් අයින්ස්ටයින්" නම් ශ්‍රෙෂ්ඨ විද්වතාය. මෙතුමාට අනුව අවකාශ කාලය නම් සිව් වෙනි මානය විශ්වයේ සෑම කොනකම පැදුරක් ආකාරයෙන් විසිර පවතී. වස්තූන් පෘථිවියට ඇලී පවතින්නේ මෙම අවකාශ කාලයේ තෙරපීම නිසා බව මොහු ප්‍රකාශ කළේය.
Space time structure - අවකාශ කාල පැදුර

 මෙම මතය සම්භාව්‍ය භෞතික විද්‍යාව දෙදරා යන තරමටම ප්‍රබල විය. කාලයේ මෙතෙක් පැවතී නිරපේක්ෂ භාවය මෙම මතය හා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (Einstein's Relativity Theory) නිසා බිඳ වැටිණි. ( නමුත් භාවිතයේ පහසුව හා දෝෂය ඉතා කුඩා බැවින් කාලය නිරපේක්ෂ යයි සලකා ඇතැම් අවස්තාවලදී ගණනය කිරීම් සිදු කරයි.)

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව වේගයෙන් චලනය වන වස්තුවකට සාපේක්ෂව ගතවන කාලය වෙනත් වස්තුවකට සාපේක්ෂව වෙනස් වේ. මෙය උදාහරණ සහිතව වටහා ගැනීමට පහත වීඩියෝව නරඹන්න.




ඉහත වීඩියෝව නැරඹු ඔබට කාලය(space time) ගැන විද්‍යාත්මක (Scientific) මතවාදය වඩා හොඳින් වටහා ගත හැකිය. මෙම මතයට අනුව ආලෝකයේ වේගයට (ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර 300 000) ආසන්න වන තැනැත්තාට අනාගතයට යා හැකිය. නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ කාලය තරණය කළ තැනැත්තාට අනුව ඔහු අනාගතයේ වුවද කාලය තරණය නොකළ පිරිසට එය සාමාන්‍ය පරිදි වර්තමානයම වීමයි.(අනාගතයට ගියද කාල යාත්රිකයාට හමුවන්නේ, වඩා වේගයෙන් කාලය ගත වූ ඔහු හඳුනන පිරිසගේම වියපත් අවස්ථාවයි. සිදුව ඇත්තේ යාත්රිකයාගේ කාලය සෙමින් ගතවීම මිස ඔහු වෙනත් ලෝකයකට යාමක් නොවේ.)

මෙම නිසා ඇල්බට් අයින්ටයින්ට අනුව කාල තරණය (Time Travel) විය නොහැක්කකි.


අවකාශ කාලය පිලිබඳ බෞද්ධ මතය - The Buddhist View of The Space Time


බෞද්ධ දර්ශනයට අනුව කාලය යන සංකල්පයට වෙනස් අර්ථ කතනයක් දී ඇත. එනම් බුදු දහමට අනුව කාලය යනු වෙනස් වීමයි. බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන ත්‍රිලක්‍ෂණයේ පළමු කරුණ වන්නේ අනිත්‍යයයි. එනම් යමක් වෙනස් වීමකට බඳුන් වන්නේද එහි කාලය ගත වීමක් සිදු වේ. බුදු දහමට අනුව සදාකාලික කිසිම දෙයක් නොමැති බැවින් වෙනස් වූ කිසිවක් යලි එම තත්වයටම පත් කල නොහැක. (වඩා ගැඹුරින් සිතන්නේනම් පදාර්ථ පිළිබඳව සිතන්න.) එම නිසා කිසිවකුට අතීතය දක්වා කාල තරණය කල නොහැක. බුදුන් වහන්සේ විටෙක මෙසේ වදාරා ඇත. "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා." "මහණෙනි මම චේතනාවට කර්මය යයි කියමි. කර්ම කයෙන් වචනයෙන් හා මනසෙන් සිදු කරයි." මෙම බුද්ධ වචනයට අනුව දෛවය ප්‍රතික්ෂේප වේ. දැන් ඔබට සාදාරණ ගැටළුවක් පැන නගිනු ඇත. "දෛවය බොරුවක්නම් බුදු හාමුදුරුවෝ අනාගතය කිව්වේ කොහොමද?" යන්න එම ගැටලුවයි.

මෙම ගැටලුවට විසඳුම මෙසේ දක්වමු. නියත වේගයෙන් යන බසයක් ගැන සිතන්න. එම බසය යම් කාලයකට පසුව ගමන් කරන දුර සුළු ගණිත කර්මයකින් නිසැකවම කිව හැකිය. මෙලෙස මනස අපරිමිතව වැඩු බුදුවරයකුට ලෝකය අතීතයේ පැවති දෙස හා වර්තමානයේ පවතින දෙස බලා අනාගතය පුරෝකථනය කල හැකිය. මේවා පුරෝකථන මිස අනාවැකි නොවේ. උදා- මෛත්‍රී බුදුන්ගේ පහල වීම ගෞතම බුදු හිමි දේශනා කරන්නේ ඒ සඳහා පාරමිතා පුරා සිටින තැනැත්තකු සිටින නිසාය. එම නිසා අපරිමිතව වැඩු මනසකට ලෝකයේ අනාගතය පුරෝකථනය කළ හැකි අතර එය අනාගතයම නොවේ. චේතනාව අනුව සියල්ල වෙනස් වේ. බුදුදහමට අනුව මෙය සදාතනික ධර්මතාවකි. පෙර භව වලදී උරුම වූ යම් කර්ම ශක්තියක් ඇතුව උපන්නද මෙම භවයේදී ඒ සියලුම කර්ම තම චේතනාව අනුව වෙනස් කර ගත හැකි බව බෞද්ධ ඉගැන්වීමයි. 

එම නිසා බුදු දහමට අනුව කාලය යනු වෙනස් වීම පමණි. කාල තරණයද (Time Travel) කල නොහැක්කකි.

එම නිසා අපේ දෛවය අපටම සකස් කර ගත හැකිය. එම දෛවයේ කෙලවර උතුම් වූ නිර්වාණය අරමුණෙන් නිතර ප්‍රඥාව වඩමු.

බුදු සරණයි.


අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද? - Truth of the Hell

අපාය (apaya) - The hell

අපාය යනු කුමක්ද?- ( What is the Hell)


සාමාන්‍යයෙන් අපාය (The Hell) යන වචනය සමඟ ගැබ්ව ඇත්තේ දැඩි දුක් සහගත බවකි. අද සමාජයේ බොහෝ දෙනා ඉතා අප්‍රසන්න සිදුවීමක් දුටු විට "මෙය නම් අපායක්" යයි කීමට පුරුදුව සිටිති.

අපාය පිළිබඳව විවිධ ආගම් හා දර්ශණ වල විවිධ ආකාර වලින් දක්වා ඇත. මේ අතරින් අපාය පිළිබඳව සැලකිය යුතු හැඳින්වීමක් සිදු කර ඇත්තේ බුදු දහම පමණි.

ඇතැමෙකුට අනුව අපාය යනු මෙලොවම ඇති විවිධ අවස්ථාවන්ය. ඔවුනට අනුව සුර ලොව යනු අධ්ක සැප සම්පත් ඇති අය වෙසෙන ස්ථාන වන අතර, අපාය යනු ඉතා දුක්ඛිතව මිනිසුන් වාසය කරන ස්ථාන වේ. නමුත් මෙය විය නොහැකි බව බෞද්ධ දර්ශණය යම් පමණකට වත් දන්නා අයකුට සිතා ගත හැකිය. අපායවල් පිළිබඳව බුද්ධ දේශනාවේ විශේෂයෙන් සඳහන් කර ඇත.

අප දන්නා පරිදි බෞද්ධ අභිධර්මයේ කාම ලෝක 11 ක් පිළිබඳව සඳහන් වේ.  එනම් දල ශරීර ඇති ජීවීන් සිටින ලෝක 11ක් ගැන ධර්මයේ සඳහන් වේ.
  1. සදෙව් ලොව
  2.  මනු ලොව
  3.  සතර අපාය
එම නිසා අපායද මිනිසුන් අතරම ය යන මිත්‍යා දෘෂ්ඨිය බැහැර කල හැකිය. මින් අපායද කොටස් සතරකට බෙදා වෙන් කර සතර අපාය ලෙසින් දක්වා ඇත. එම කොටස් සතර පහත දැක්වේ.
  1. නරක (නිරය) 
  2. ප්‍රේත ලෝකය
  3. තිරිසන් ලෝකය
  4. අසුර ලෝකය
මෙම ලිපියේ මාතෘකාව අපාය (The Hell) බැවින් අප මෙම කොටස් සතර විග්‍රහ කර බලමු.

1.නරක (නිරය)

මෙම අපායේ උපත ලැබීමට හේතු වන්නේ, පෙර භව වල දී අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයි.
අනෙකුත් අපායවල් ත්‍රිත්වය හා සැසදීමේදී නිරය යනු අතිශය බිහිසුණු ස්ථානයකි. මෙම නිරය ධර්මයෙහි ප්‍රධාන  වශයෙන් කොටස් 8 කට බෙදා දැක්වේ.

  1. සංජීව නිරය
  2. කාල සූත්‍ර නිරය 
  3. සංඝාත නිරය
  4. රෞරව නිරය
  5. මහා රෞරව නිරය
  6. තාප නිරය
  7. ප්‍රතාප නිරය
  8. අවීචි මහා නිරය
(මෙම අට මහා නිරය පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.)

විවිධ අකුසලයන් සිදු කළවුන් තම කර්ම වලට අනුරූපව මෙම අට මහා නිරයන්හි ඕපපාතිකව (මවක් නොමැතිව ඉබේ සිදු වන උපතක්) උපත ලබති. කර්ම ශක්තීන් අවසන් වූ තැන නැවත වෙනත් භවයක උපත ලැබීමේ හැකියාව පවතී.

2.ප්‍රේත ලෝකය

අපාය සතරෙන් මීළඟ අපාය වන්නේ ප්‍රේත ලෝකයයි. යමකු අධික තණ්හාවෙන් තම චුති චිත්තය සකසා ගනියිද හෙතෙම ප්‍රේත ලෝක වල උපත ලබන්නේය. මෙම ලෝකයේ සිටින සංචේතන සත්ත්වයෝ "කුසගිණි භූතයන්" ලෙසද හැඳින්වේ. විවිධ ප්‍රේතයන් විඳින දුක් පිළිබඳව "ප්‍රේත වස්තුව" නම් ග්‍රන්ථයේ මනාව දක්වා ඇත. මෙම ලෝකයේ ඕපපාතිකව පහල වන ජීවීහු නිරතුරු කුස ගින්න හා පිපාසය සංසිඳවා ගත නොහැකිව අපා දුක් විඳිති. ටිබෙට් භව චක්‍රයේ පටු බෙල්ලක් සහ විශාල උදරයක් සහිතව මෙම ජීවීහු දක්වා ඇත්තේ ද ඉහත කී නොසන්සිඳෙන ආශාවන් සංකේතාත්මකව දැක්වීම සඳහාය.

3.තිරිසන් ලෝකය

තෙවන අපාය ලෙසින් දක්වා ඇති තිරිසන් ලෝකය පුහුදුන් මිනිස් ඇසට ගෝචර වන එකම අපාය වේ. අධික මෝහය හා අවිචාර සම්පන්න හැසිරීම නිසා සත්ත්වයෝ තිරිසන් යෝනියක උප්පත්තිය ලබති. තිරිසන් අපාය ලෙස හඳුන්වන්නේ පෘථිවිය මත පවතින මනුෂ්‍යයන් හැරුණු විට ඇති සත්ත්ව ලෝකයයි.

4.අසුර ලෝකය

සිව් වන අපාය ලෙස හැඳින්වෙන මෙම අපාය උප දේවතාවන්ගේ වාස භවනයි. ඊර්ෂ්‍යාව හා ව්‍යාපාදය හේතුවෙන් ඇති වන්නා වූ කර්ම ශක්තියෙන් ඕපපාතිකව මෙම ලෝකයේ උප්පත්තිය සිදුවේ. යහපත් අරමුණෙන් යමක් කලද එයින් අන් යට හානි වීම හේතුවෙන් මෙලොව උපත ලබයි. මෙම ලෝකයේ උපත ලබන සත්ත්වයා මනුෂ්‍යාට වඩා සැප සම්පත් බුක්ති වින්ද ද දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙලේ. එම නිසා මෙම ලෝකය ඊර්ෂ්‍යාකාරී දේව ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේ. මනුෂ්‍යයන්ට තිරිසන් ලොව දර්ශනය වන්නේ යම් සේද අසුර ලොවට දෙව් ලොව දර්ශනය වේ. මෙම නිසා මෙම දෙලොව අතර විවිධ ගැටුම් ඇති වූ බවද (සුර අසුර යුද්ධය) සූත්‍ර දේශනා වල සඳහන් වේ.

නිරයේ ස්වභාවය-Apaya (The Hell) ත්‍රිමාණ සජීවීකරණයක් ලෙසින් පහත වීඩියෝවේ දක්වා ඇත. ( මෙය විශ්වාස මත පදනම්ව නිර්මාණය වූවක් බව කරුණාවෙන් සලකන්න.)


අන් දේවවාදී ආගම් වල මෙන් සදාකාලිකව අපායේ සිටීමක් හෝ සදාකාලිකව සුගතියේ සිටීමක් හෝ බුදු දහම නොපිළිගන්නා අතර බෞද්ධ දර්ශනයේ පරම සැපත උතුම් වූ නිර්වාණයයි.
තෙරුවන් සරණයි...!


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම- Wikipedia විශ්ව කෝෂයෙනි.) 



Friday, August 5, 2016

ජීවීන්ගෙන් නිකුත් වන රෂ්මි ධාරා (Human Aura) - Kirlian Photography


Human Aura
බෞද්ධ අපට මිනිස් සිරුරු වලින් රෂ්මි ධාරා (Human Aura) විහිදීම එතරම් ආගන්තුක සංකල්පයක් නොවේ. අප කුඩා කල සිටම බුදු රජාණන්වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ සිරුරු වලින් රෂ්මි ධාරා විහිදීම විවිධ කලාත්මක නිර්මාණ ඔස්සේ දැක ඇත. බුදුරැස් මාලාව යන වදන අපට අතිශය හුරු පුරුදු වදනකි.
සැබැවින්ම මිනිසකුගේ සිරුරින් රෂ්මි ධාරාවක් නිකුත් විය හැකිද?

ක්‍රි.ව. 1939 දී සෙම්යොන් කිර්ලියන් නම් විද්‍යාඥයා චායාරූප ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂණයක නිරත වෙමින් සිටියේය. මෙහිදී අධි වෝල්ටීයතාවක් (High Voltage) සහිත තහඩු භාවිත කරන ලද අතර අහඹු සිදු වීමක් හේතුවෙන් මෙම විද්‍යාඥයාගේ එක් අතක් මෙම තහඩු අතරට ගොස් ඇත. පසුව සේයා රූ පරීක්ෂා කළ ඔහු, දුටු දෙයින් මවිතයට පත් විය.
ඔහුගේ අත සේයා පටලයේ සටහන්ව තිබිණි. ඒ සමඟම ඔහුගේ අත වටා රශ්මි ධාරාවක්ද (Aura) සටහන්ව තිබිණි. මෙය කිර්ලියන් නම් චායාරූප ක්ෂේත්‍රයේ උපත විය. වෝල්ටීයතා වෙනස්වීම් (Voltage Frequency) හා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර (Electro Magnetic Fields) භාවිතයෙන් වර්තමානයේ මෙම තාක්ෂණය ඉතා දියුණුවට පත්ව ඇත.

ගසක අත්තක ඇති ශාක පත්‍රයක් ඉවත් කර එම අතු කොටස මෙම ක්‍රම වේදයට අනුව චායාරූප ගත කළ විට ඉවත් කළ පත්‍රයද සහිතවම රශ්මි ධාරා සටහන් වේ. මෙම නිසා ජීවීන්ගේ සූක්‍ෂම ශරීරය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මෙම ක්‍රමවේදය මුල පුරා ඇත.

මෙම චායාරූප මඟින් කළ නිරීක්ෂණයන්ට අනුව මිනිසකුගේ සිරුරින් විවිධ හැගීම් වලදී විවිධ වර්ණයන්ගෙන් යුත් රෂ්මිධාරා (Different Colors Auras) නිකුත් කරන බව සොයාගෙන ඇත. පහත වීඩියෝව මගින් කිර්ලියන් චායාරූප කරණය පිලිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගත හැක.



ඇතැම් සත්ත්වයින් හට මිනිසුන් පිළිබඳව වටහා ගැනීමට මෙම රශ්මි ධාරා උපයෝගී වන බවද නූතන විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. තවද යම් පුද්ගලයකු මිය යාමට ආසන්න වන විටදී හෝ දැඩි ලෙස රෝගාතුර වීමකදී මෙකී රශ්මි ධාරා වල දීප්තිය ඉතා අඩු වන බවද නිරීක්ෂනය කොට ඇත. යෝගාවචරයින්ගේ හා ඇතැම් විශේෂ හැකියාවල් සහිත පුද්ගලයන්ගේ මෙම රශ්මි ධාරාව සාපේක්ෂව වෙනස් බවද දැක ඇත.

මෙම චායා රූප තාක්ෂණයට භාවිතා කර ඇති විද්‍යාත්මක සිද්ධාන්තය (Scientific theory) කොරෝනා විසර්ජනය (Corona Discharge) ලෙස හඳුන්වයි. මෙම උපකරණය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ දල අදහසක් ගැනීම සඳහා පහත රූපසටහන උපයෝගී කර ගත හැක.


Kirlian Photography Machine - Human Aura

එසේනම් පියවි ඇසට මෙම රෂ්මි ධාරා (Aura) දැකිය නොහැකිද?

 අප දන්නා පරිදි සාමාන්‍ය පුද්ගලයකුට තම දෑස් පමණක් උපයෝගී කරගෙන මෙම රශ්මි ධාරා දැකිය නොහැකිය. නමුත් බුදු දහමට අනුව මනස දුයුණු කළ පුද්ගලයකුගේ රශ්මි ධාරාව (Human Aura) අතිශයින්ම තීව්‍ර බව ඉහත පරිච්චේදයේ දක්වා ඇත. එම නිසා බුදු වරුන්ගේ හා රහතන් වහන්සේලාගේ රැස් මාලා සාමාන්‍ය මිනිසුන්ට පියවි ඇසින් දැකිය හැකි මෙන්ම මෙසේ මනස දියුණු කළ පිරිසට සාමාන්‍ය සත්ත්වයින්ගේ රෂ්මි ධාරා දැකීමේ හැකියාවද ඇති බව බුද්ධ කාලීන භාරතයේ ඇතැම් සිදුවීම් දෙස බැලීමෙන් වටහා ගත හැකිය.

යම් පුද්ගලයින් හට මානසික ශක්තියෙන් රෝගීන් සුව කිරීම වැනි විශේෂ හැකියා ඇති බව අප අසා ඇත්තෙමු. ඔවුන් මූලධර්ම නොදැන තම අත්දැකීමෙන් හසුරවනු ලබන්නේ ඉහත කී රෂ්මි ධාරාවම විය නොහැකිද? මෙකී රෂ්මි ධාරාව මේ වන තෙක් සොයා ගෙන ඇති කිසිදු විද්‍යුත් තරංග සංඛ්‍යාතයකට සමාන නොවන බැවින් මෙම ශක්තිය පිළිබඳ පර්යේෂණ කිරීම අධි භෞතික විද්‍යාවට බාර දී ඇත. අද අධි මානසික විද්‍යාවේ බොහෝ අවශ්‍යතා සඳහා මෙම උපකරණ යොදා ගනී.

නමුත් බෞද්ධ අපට මේ පිළිබඳව නැවත පර්යේෂණ (reserch) කිරීමට අවශ්‍ය නොවේ. බුදුන් වහන්සේ නාලාගිරි වැනි හස්තීන්, අංගුලිමාල වැනි මිනී මරුවන්, ආලවක වැනි යක්ෂයින් දමනය කිරීමට යොදාගත්තේ තම මනසින් ගොඩ නැගූ ශක්තීන් පමණි. එම ශක්තීන් අවදි කරමින් උතුම් වූ නිර්වාණයට යන මග බටහිර විද්‍යාඥයන්ට නම් සොයා ගත නොහැකි වනු ඇත. එකී මාර්ගය උපතින්ම හිමි අපි නොපමාව එම මඟෙහි ගමන් කරමු..

තෙරුවන් සරණයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම- Wikipedia විශ්ව කෝෂයෙනි.) 

Tuesday, August 2, 2016

අන්තරා භවය සහ අපේ විශ්වාස

අන්තරා භවය - Anthara bhawaya

අන්තරා භවය (Anthara bhawaya) යනු කුමක්ද?


මෙය බෞද්ධ ජනයාට නම් එතරම් ආගන්තුක වචනයක් නොවනු ඇත. මක් නිසාද යත් ඇතැම් ප්‍රදේශ වලට ආවේනිකව බෞද්ධ අවමංගල්‍ය සිරිත් විරිත් තුල මෙම සංකල්පය ගැබ්ව තිබීමයි. අන්තරා භවය යන වචනයෙහි අරුත සරලව විමසූ විට අන්තර් භවය නොහොත් අතර මැදි භවය ලෙස දැක්විය හැකිය. එනම් යම් ජීවියකු තම පෙර භවය අවසන් කළ පසු නැවත භවයක් ලැබෙන තුරු වෙසෙන අතර මැදි අවස්ථාවයි. මෙම සංකල්පය පිළිබඳව අපේ විශ්වාස සහ ථෙරවාදී බුදු දහමේ විග්‍රහය මෙතැන් සිට විමසා බලමු.


අන්තරා භවය (Anthara bhawaya) පිළිබඳව තෙරවාදී බෞද්ධ විග්‍රහය.


අප දන්නා පරිදි ලෝකයේ ප්‍රධාන වශයෙන් බෞද්ධ ධර්මය කොටස් දෙකක් වශයෙන් විකසනය වී ඇත.

  1. ථෙරවාදී බෞද්ධ දර්ශනය
  2. මහායාන බෞද්ධ දර්ශනය
මින් අප අනුගමනය කරන්නේ ථෙරවාදී බෞද්ධ දර්ශනය වේ. ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම අනුව නිර්මල බුදු දහම ත්‍රිපිටකානුසාරයෙන් තවමත් නොනැසී පවතින්නේ ථෙරවාදී බෞද්ධ රටවල පමණි. එසේනම් අප සෑම කරුණක්ම තේරුම් ගත යුත්තේ නිර්මල බුදු දහම, එනම් ථෙරවාදී බුදු දහමට අනුවය. මහා යාන දර්ශනයට අනුව අන්තරා භවයක පැවැත්මක් සෑම විශ්වීය ශක්තියකින්ම ස්වායක්තව පවතී. ඔවුනට අනුව යමෙක් මිය ගිය පසුව තමාට සුදුසු භවයක් ලැබෙන තෙක් ගන්ධබ්බයකු ලෙස සැරිසරයි.
නමුත් ථෙරවාදී දර්ශනයට අනුව යම් සත්ත්වයකුගේ චුතිය සහ ප්‍රතිසන්ධිය සිදු වන්නේ කූඩැල්ලෙකුගේ ගමනට සමාන පරිදිය. එනම් චුති සිත හට ගෙන අවසන් වන නිමේෂයේදීම ප්‍රතිසංධි සිත හට ගනී. මෙම ඉගැන්වීමට අනුව චුතිය සහ නැවත ප්‍රතිසංධිය අතර කාල පරතරයක් තිබිය නොහැක. එනම් එහි අන්තර් අවස්ථාවක් තිබිය නොහැක.

එසේනම් සිදුවිය හැක්කේ කුමක්ද?


අප මෙය අපට ඉතාමත් ආසන්න උදාහරණ දෙකක් ඇසුරින් තේරුම් ගැනීමට උත්සාහ දරමු. ඔබ කල්ප විනාශය පිළිබඳව අසා ඇත. කල්ප විනාශයකදී අකනිට්ටක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම ඇති වඩා සියුම් ධ්‍යාන ලාබීන් පමණක් පහළ වන බ්‍රහ්ම ලෝකය පමණක් ඉතිරිවන බව ධර්මයේ සඳහන් වේ. අනෙකුත් සියලුම ලෝක ගින්නෙන් විනාශ වන බව දැක්වේ. (අවකාශ කාලය විදු ඇසින් හා බුදු ඇසින් ලිපිය බලන්න.)
එවිට මනු ලොව ඉපදීමට හෝ වෙනත් ලොවක ඉපදීමට සිටින සියලුම සත්ත්වයින් ඕපපාතිකව ඉහත කී ලෝකයෙහි පහළ වේ. නැවත මනු ලොව ජීවයට හිතකර වන පරිදි පරිවර්තනය (අග්ගඥ සූත්‍රය) වූ විට ඉහත සත්ත්වයින් කර්මානුරූපීව අදාළ භවවල නැවත ප්‍රතිසන්ධි වේ. අන්තරා භවයකට හෙවත් චිත්ත පරම්පරාවකට හුදෙකලා පැවැත්මක් ඇත්නම් ඔවුන් එලෙස තාවකාලික උපතක් කරා නොයනු ඇත. ( මක් නිසාද යත් ගින්නෙන් චිත්ත පරම්පරාවකට බලපෑමක් නොවන හෙයිනි.)
තවත් උදාහරණයක් ගතහොත් මතු බුදු වන මෛත්‍රී බුරදුන් ගැන සිතමු. උන් වහන්සේ බුද්ධත්වයට අවශ්‍ය සියලුම පාරමිතා මේ වන විට පුරා අවසන් බව ධර්මයෙහි සඳහන් වේ. උන්වහන්සේ මනු ලොව උපතට සුදුසු කාලය එන තෙක් දෙව් ලොව උපත ලබා ඇත. අන්තරා භවයක් ඇත්නම් එලෙස තවත් උපතක් කරා යෑමේ අවශ්‍යතාවක් තිබේද?

එසේනම් ගන්ධබ්බයින් හා අදහස් හුවමාරු කර ගැනීම මුසාවක්ද?


මුසාවක් නොව මුලාවකි. අද සමාජය ගන්ධබ්බයින් ලෙස හඳුන්වන පිරිස භවයක් සොයා යන අන්තරා භවිකයින් නොව තවත් එක භවයක උපත ලද සත්ත්වයින්ය. බොහෝ විට ගන්ධබ්බයින් ලෙස මිනිසුන් මුලා වන්නේ, ප්‍රේතයින්ට ය. මීට අමතර විවිධ දේව කොට්ඨාස හා අසුරයින්ද සිටිය හැක. මෙවැනි ජීවීන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම කළ හැකි බව ධර්මයෙහිද සඳහන් වේ. ඇතැම් ප්‍රේතයින් හට විශේෂ ඥාණ පවා ඇති බව ප්‍රේත වස්තුවේ සඳහන් වේ. එසේනම් ගන්ධබ්බයින් ලෙස අප සිතා සිටින ඇතැම් සත්ත්වයින් අතිශය කරදරකාරී ප්‍රේත භවයන් විය හැකිය. එම නිසා බුදු දහම පැහැදිලිවම දක්වා ඇත්තේ ගුප්ත විද්‍යාව මනෝ දියුණුවට යන මිනිසාට අනවශ්‍ය බවයි.

මිය ගිය ඥාතීන්ට පිං පෙත් අනුමෝදන් කිරීම.


සැබවින්ම මෙය සිදුරු වූ කලයකට දිය පිරවීමක් වැනිය. මක් නිසාද යත් අප අනුමෝදන් කරන පින් ලබා ගැනීමට හැකියාව ඇත්තේ, පරදත්තූප ජීවී නම් ප්‍රේත කොට්ටාසයට පමණක් බව ධර්මයෙහි දක්වා ඇති බැවිනි. අප මිය ගිය ඥාතියා එම භවයේම ඉපදීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. නමුත් යමක් නොකර සිටීමට වඩා කුමක් හෝ කිරීම වටිනා බැවින් මළවුන්ට පිං දීම බෞද්ධ සංස්කෘතිය තුල ඇත. එසේනම් අප කළයුත්තේ මිය ගිය පසු පින් ලබා ගැනීමට බලාසිටීම නොව අද අදම පින් එක් රැස් කර ගැනීමයි. එය කිසි විටක ක්‍ෂය වීමක් සිදු නොවේ. මා මෙම ලිපිය ධම්ම පදයේ ඇති ගාථාවකින් මෙසේ නිම කරමි.

"අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී- යේ පමත්තා යතා මතා"

Tuesday, July 26, 2016

බෞද්ධ දර්ශනය යනු කුමක්ද?


Lord Buddha
නූතන විද්‍යාඥයින් පිළිගන්නා පරිදි පෘථිවියේ වයස ආසන්න වශයෙන් අවරුදු බිලියන 4.5 කි. මොවුන් මෙම තීරණය කරා එළඹි ඇත්තේ විවිද පොසිල හා ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙනි. නමුත් බෞද්ධයන් වන අප අසා ඇති පරිදි බුදු වරුන් 28ක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඇතැම් බුදු වරුන්ගේ පරමායුෂ වසර කල්ප ගණනකි. එසේනම් වසර බිලියන 4.5ක් පමණක් වයසැති පෘථිවිය මෙම කතා පුවතට බාධාවක් බව බුද්ධිමත් ඔබට වැටහෙනු ඇත. එසේනම් සිදුව ඇත්තේ කුමක්ද?

අප මහා ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි "ලෝක විෂය අචිත්‍යය" ය. බුදුන් වහන්සේ ලෝක විෂය ගැන විටක මෙලෙස උදාහරණ දක්වා ඇත. විශාල රුක් ඇති වනයක එක් රුකකින් කොළ අහුරක් කඩා එම කොළ අහුර හා මුළු වනයේම කොළ තමන් වහන්සේ ලෝකය පිලිබඳ දේශනා කල දෙයටත් තමන් වහන්සේ ලෝකය පිළිබඳ අවබෝධ කර ගත් දෙයටත් සමාන කල සේක. මෙසේ දේශනා නොකළ කොටස වැඩි වීමට හේතු වන්නට ඇත්තේ එම දැනුමෙන් මිනිසාට කිසිදු ප්‍රයෝජනයක් නොමැති කමත් ඒවා වටහා ගැනීමට තරම් බුද්ධියක් නොමැති කමත් නිසාය.

නමුත් බුදුන් වහන්සේ වදාළ අග්ගඥ සූත්‍රයේ දක්වා ඇති පරිදි විශ්වය කාලයකදී සංකෝචනය වෙමින්ද(සංවට්ට මාන කප්ප) කාලයකදී ප්‍රසාරණය( විවට්ටමාන කප්ප) වෙමින්ද පවතී.
මෙය සදාකාලිකව සිදු වන්නකි. (චක්‍රීය චින්තනය). මේ අතර තුර පෘථිවිය ඇති වෙමින් හා නැති වෙමින් දිගින් දිගටම පවතී. අවසාන වරට පෘථිවිය ඇති වී අදට වසර බිලියන 4.5ක් විය හැකිය.

චක්‍රීය හා රේඛීය චින්තන.

ආදී යුගයේ පටන් මිනිසා ලොවෙහි ඇති සෑම දෙයකම ආරම්භය හා අවසානය සෙවීමට උත්සාහ දරා ඇත. මෙම උත්සාහය පසුකාලීනව කොටස් දෙකකට විකසනය වී ඇත.

1. ආරම්භයකුත් අවසානයකුත් යන දෙකම ඇත. ( උදා- සරල රේඛාව)
2. ආරම්භයකුත් අවසානයකුත් යන දෙකම නැත. (උදා- වෘත්තය)

මෙම චින්තන දෙක ඔස්සේ පසුකාලීනව විවිධ ආගම් නිර්මාණය විය. මෙහි 1 හි  ප්‍රතිපලයක් ලෙස ආරම්භය මැවීමකින් සහ අවසානය සදාකාලික සැපයකින් අවසන් වන දේවවාදී ආගම් නිර්මාණය විය.  මෙහි 2 හි ප්‍රතිපලයක් ලෙස ආත්මවාදී ආගම් බිහිවිය.

මෙහි අංක 1 චක්‍රීය චින්තනය ලෙසත්, අංක 2 රෙඛීය චින්තනය ලෙසත් හඳුන්වමු.

එසේනම් බුදු දහම මින් කුමන කොටසට අයත් වේද?

මෙම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමටනම් බුදුන් වහන්සේගේ දේශනාව ඔස්සේම යා යුතුය. අප මේ සඳහා "මැදුම් පිළිවෙත" උපයෝගී කර ගනිමු.
එනම් ඉහත 1 හා 2 යන කොටස් දෙකෙන්ම බුදු දහම පෝෂණය වී ඇත. උදාහරණයක් ලෙස ගතහොත්, බෞද්ධයාගේ උතුම්ම සපත වන නිර්වාණය රේඛීය චින්තනයේ අවසානය නිරූපණය කරන අතර "පටිච්ච සමුප්පාදය" චක්‍රීය චින්තනයකට උදාහරණ දෙයි.

බෞද්ධ යන්නෙහි අර්ථය කුමක්ද?

මෙහි සරල අර්ථය බුද්ධිමතා යන්නයි. එනම් ප්‍රඥා සම්පන්න බුද්ධිමතා සැබෑ බෞද්ධයකු වන බවයි.. බුද්ධ කාලීන භාරතයේ බුදු දහම වටා එක් රැස් වූ පිරිස දෙස බැලීමෙන් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

බුද්ධ දර්ශනයේ මූලික හරය කුමක්ද?

ඕනෑම බුදු වරයකුගේ පරම අධිෂ්ඨානය ලෝක සත්ත්වයා දුකෙන් නිදහස් කිරීමයි. එනම්  දුක්ඛ නිරෝධයයි. මෙය සිදුකරන අයුරු බුදුන් වහන්සේ මනාව පැහැදිලි කර ඇත. කළ යුත්තේ නිවැරදි මඟ අනුගමනය කිරීම පමණි. 
වඩා සවිස්තර ධර්ම කරුණු දෙස බුද්ධිමත් විවරණයක් සමඟින් යලිත් හමු වෙමු.

මෙය කියවූ සියලුම දනන් හට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!