Advertisement

Tuesday, August 2, 2016

අන්තරා භවය සහ අපේ විශ්වාස

අන්තරා භවය - Anthara bhawaya

අන්තරා භවය (Anthara bhawaya) යනු කුමක්ද?


මෙය බෞද්ධ ජනයාට නම් එතරම් ආගන්තුක වචනයක් නොවනු ඇත. මක් නිසාද යත් ඇතැම් ප්‍රදේශ වලට ආවේනිකව බෞද්ධ අවමංගල්‍ය සිරිත් විරිත් තුල මෙම සංකල්පය ගැබ්ව තිබීමයි. අන්තරා භවය යන වචනයෙහි අරුත සරලව විමසූ විට අන්තර් භවය නොහොත් අතර මැදි භවය ලෙස දැක්විය හැකිය. එනම් යම් ජීවියකු තම පෙර භවය අවසන් කළ පසු නැවත භවයක් ලැබෙන තුරු වෙසෙන අතර මැදි අවස්ථාවයි. මෙම සංකල්පය පිළිබඳව අපේ විශ්වාස සහ ථෙරවාදී බුදු දහමේ විග්‍රහය මෙතැන් සිට විමසා බලමු.


අන්තරා භවය (Anthara bhawaya) පිළිබඳව තෙරවාදී බෞද්ධ විග්‍රහය.


අප දන්නා පරිදි ලෝකයේ ප්‍රධාන වශයෙන් බෞද්ධ ධර්මය කොටස් දෙකක් වශයෙන් විකසනය වී ඇත.

  1. ථෙරවාදී බෞද්ධ දර්ශනය
  2. මහායාන බෞද්ධ දර්ශනය
මින් අප අනුගමනය කරන්නේ ථෙරවාදී බෞද්ධ දර්ශනය වේ. ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම අනුව නිර්මල බුදු දහම ත්‍රිපිටකානුසාරයෙන් තවමත් නොනැසී පවතින්නේ ථෙරවාදී බෞද්ධ රටවල පමණි. එසේනම් අප සෑම කරුණක්ම තේරුම් ගත යුත්තේ නිර්මල බුදු දහම, එනම් ථෙරවාදී බුදු දහමට අනුවය. මහා යාන දර්ශනයට අනුව අන්තරා භවයක පැවැත්මක් සෑම විශ්වීය ශක්තියකින්ම ස්වායක්තව පවතී. ඔවුනට අනුව යමෙක් මිය ගිය පසුව තමාට සුදුසු භවයක් ලැබෙන තෙක් ගන්ධබ්බයකු ලෙස සැරිසරයි.
නමුත් ථෙරවාදී දර්ශනයට අනුව යම් සත්ත්වයකුගේ චුතිය සහ ප්‍රතිසන්ධිය සිදු වන්නේ කූඩැල්ලෙකුගේ ගමනට සමාන පරිදිය. එනම් චුති සිත හට ගෙන අවසන් වන නිමේෂයේදීම ප්‍රතිසංධි සිත හට ගනී. මෙම ඉගැන්වීමට අනුව චුතිය සහ නැවත ප්‍රතිසංධිය අතර කාල පරතරයක් තිබිය නොහැක. එනම් එහි අන්තර් අවස්ථාවක් තිබිය නොහැක.

එසේනම් සිදුවිය හැක්කේ කුමක්ද?


අප මෙය අපට ඉතාමත් ආසන්න උදාහරණ දෙකක් ඇසුරින් තේරුම් ගැනීමට උත්සාහ දරමු. ඔබ කල්ප විනාශය පිළිබඳව අසා ඇත. කල්ප විනාශයකදී අකනිට්ටක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම ඇති වඩා සියුම් ධ්‍යාන ලාබීන් පමණක් පහළ වන බ්‍රහ්ම ලෝකය පමණක් ඉතිරිවන බව ධර්මයේ සඳහන් වේ. අනෙකුත් සියලුම ලෝක ගින්නෙන් විනාශ වන බව දැක්වේ. (අවකාශ කාලය විදු ඇසින් හා බුදු ඇසින් ලිපිය බලන්න.)
එවිට මනු ලොව ඉපදීමට හෝ වෙනත් ලොවක ඉපදීමට සිටින සියලුම සත්ත්වයින් ඕපපාතිකව ඉහත කී ලෝකයෙහි පහළ වේ. නැවත මනු ලොව ජීවයට හිතකර වන පරිදි පරිවර්තනය (අග්ගඥ සූත්‍රය) වූ විට ඉහත සත්ත්වයින් කර්මානුරූපීව අදාළ භවවල නැවත ප්‍රතිසන්ධි වේ. අන්තරා භවයකට හෙවත් චිත්ත පරම්පරාවකට හුදෙකලා පැවැත්මක් ඇත්නම් ඔවුන් එලෙස තාවකාලික උපතක් කරා නොයනු ඇත. ( මක් නිසාද යත් ගින්නෙන් චිත්ත පරම්පරාවකට බලපෑමක් නොවන හෙයිනි.)
තවත් උදාහරණයක් ගතහොත් මතු බුදු වන මෛත්‍රී බුරදුන් ගැන සිතමු. උන් වහන්සේ බුද්ධත්වයට අවශ්‍ය සියලුම පාරමිතා මේ වන විට පුරා අවසන් බව ධර්මයෙහි සඳහන් වේ. උන්වහන්සේ මනු ලොව උපතට සුදුසු කාලය එන තෙක් දෙව් ලොව උපත ලබා ඇත. අන්තරා භවයක් ඇත්නම් එලෙස තවත් උපතක් කරා යෑමේ අවශ්‍යතාවක් තිබේද?

එසේනම් ගන්ධබ්බයින් හා අදහස් හුවමාරු කර ගැනීම මුසාවක්ද?


මුසාවක් නොව මුලාවකි. අද සමාජය ගන්ධබ්බයින් ලෙස හඳුන්වන පිරිස භවයක් සොයා යන අන්තරා භවිකයින් නොව තවත් එක භවයක උපත ලද සත්ත්වයින්ය. බොහෝ විට ගන්ධබ්බයින් ලෙස මිනිසුන් මුලා වන්නේ, ප්‍රේතයින්ට ය. මීට අමතර විවිධ දේව කොට්ඨාස හා අසුරයින්ද සිටිය හැක. මෙවැනි ජීවීන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම කළ හැකි බව ධර්මයෙහිද සඳහන් වේ. ඇතැම් ප්‍රේතයින් හට විශේෂ ඥාණ පවා ඇති බව ප්‍රේත වස්තුවේ සඳහන් වේ. එසේනම් ගන්ධබ්බයින් ලෙස අප සිතා සිටින ඇතැම් සත්ත්වයින් අතිශය කරදරකාරී ප්‍රේත භවයන් විය හැකිය. එම නිසා බුදු දහම පැහැදිලිවම දක්වා ඇත්තේ ගුප්ත විද්‍යාව මනෝ දියුණුවට යන මිනිසාට අනවශ්‍ය බවයි.

මිය ගිය ඥාතීන්ට පිං පෙත් අනුමෝදන් කිරීම.


සැබවින්ම මෙය සිදුරු වූ කලයකට දිය පිරවීමක් වැනිය. මක් නිසාද යත් අප අනුමෝදන් කරන පින් ලබා ගැනීමට හැකියාව ඇත්තේ, පරදත්තූප ජීවී නම් ප්‍රේත කොට්ටාසයට පමණක් බව ධර්මයෙහි දක්වා ඇති බැවිනි. අප මිය ගිය ඥාතියා එම භවයේම ඉපදීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. නමුත් යමක් නොකර සිටීමට වඩා කුමක් හෝ කිරීම වටිනා බැවින් මළවුන්ට පිං දීම බෞද්ධ සංස්කෘතිය තුල ඇත. එසේනම් අප කළයුත්තේ මිය ගිය පසු පින් ලබා ගැනීමට බලාසිටීම නොව අද අදම පින් එක් රැස් කර ගැනීමයි. එය කිසි විටක ක්‍ෂය වීමක් සිදු නොවේ. මා මෙම ලිපිය ධම්ම පදයේ ඇති ගාථාවකින් මෙසේ නිම කරමි.

"අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී- යේ පමත්තා යතා මතා"

Related Posts:

  • අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)           අප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න ව… Read More
  • අෂ්ඨ මහා නිරයන්ට අමතරව තවත් කුඩා නිර තිබේද? අෂ්ඨ මහා නිරයන් පිලිබඳ ඔබ නොදත් තතු යන ලිපිය යටතේ අට මහා නිරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම ලිපිය මඟින් ගවේෂණයට සූදානම් වන්නේ එම අට මහා නිරයට අමතරව ඇති කුඩා නිරයන් පිළිබඳවය. බුදු දහමේ අට මහා නිරයන්ට අමතරව තවත… Read More
  • අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපිය… Read More
  • සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana             බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මස… Read More
  • අවකාශ කාලය විදු ඇසින් සහ බුදු ඇසින් - Space Time In Buddha's View කාලය (time) කියූ සැනින් අප හට මතකයට නැගෙන්නේ ඔරලෝසුවක කටුය. කාලය ගත වීම අපට අනුව නම් වේලාව වෙනස් වීම වේ. නමුත් මෙම කාලය යන සංකල්පය දාර්ශනිකයන් දුටු ආකාරය හා මේ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ කුමක් ද යන වග මෙම ලිපියෙන්… Read More

0 comments:

Post a Comment