Advertisement

Wednesday, August 24, 2016

අෂ්ඨ මහා නිරයන්ට අමතරව තවත් කුඩා නිර තිබේද?

ata maha niraya


අෂ්ඨ මහා නිරයන් පිලිබඳ ඔබ නොදත් තතු යන ලිපිය යටතේ අට මහා නිරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම ලිපිය මඟින් ගවේෂණයට සූදානම් වන්නේ එම අට මහා නිරයට අමතරව ඇති කුඩා නිරයන් පිළිබඳවය.

බුදු දහමේ අට මහා නිරයන්ට අමතරව තවත් ක්‍ෂුද්‍ර නිරයන් ගණනාවක් දක්වා ඇත. මේවා අතරින් ප්‍රධාන නිරයන් කිහිපයක තතු පමණක් මෙම ලිපිය ඔස්සේ සවිස්තරාත්මකව සාකච්චා කරමු.
ප්‍රධාන ක්‍ෂුද්‍ර නිර සතර පහත පරිදි වේ.

  1. ගූථ නිරය 
  2. කුක්කුල නිරය
  3. අසිපත් වන නිරය 
  4. සම්බලි වන නිරය

1.ගූථ නිරය.

මෙම නිරය කැකෑරුණු අසූචියෙන් පිරුණු ස්ථානයකි. කර්මානුරූපව තමා කළ අකුසලයන් හේතුවෙන් සත්ත්වයෝ මෙහි උපත ලබා අනන්ත වූ අපා දුක් විඳිති. උණ ගස්, පොල් ගස්, තල් ගස් වැනි මහත පණුවන්ගෙන් පිරුණු මෙම නිරයට වැටෙන නිරිසත්වයා මෙම මහා පනුවන්ගේ ගොදුරු බවට නිරතුරුව පත්ව දැඩි දුකට පැමිණෙනු ඇත.

2.කුක්කුල නිරය.

සෑම තැනක්ම ගිණි අළු වලින් පිරී ඇත. ඊට යටින් ඇති ගිණි අඟුරු වලින් මෙම අළු නිතරම උණුසුම් වන බැවින් මෙහි උපදින සත්වයෝ අධික උණුසුමෙන් තම අකුසල අවසන් වන තුරු දුක් විඳිති.

3.අසිපත් වන නිරය.

මෙම නිරයෙහි ඇති විශාල ගස් වල ඇති පත්‍ර කඩු මෙන් මුවහත් අතර මෙම නිරයෙහි ඇති තෘණ දැලිපිහි මෙන් මුවහත් ය. කර්මානුරූපව මෙහි වැටෙන සත්ත්වයෝ මෙම පත්‍ර වලට කැපී අනන්ත දුක් විඳිති.

4.සම්බලි වන නිරය.

මෙම නිරයේ ඇති ගස් මත අතිශය තියුණු කටු ඇති අතර මෙම කටු මෙම නිරයේ පහල වන නිරිසතුන්ගේ සිරුරු පාසා කරගෙන ගියද තම අකුසල කර්ම ක්‍ෂය වන තුරු ඔවුන් මෙම දුක් ඉවසා ගත යුතුය.

ලෝකාන්තරික නිරය


මෙම නිරය  අතිශයින්ම සීතල නිරයකි. ලෝකාන්තරික නිරය  සදා කාලික අඳුරේ ඇත. මේ නිරය පතුලේ අතිශයින්ම සිහිල් ජලය ඇත. මෙහි පහල වන නිරි සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී එහෙ මෙහෙ යන අතර තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙන විට කෑමක් යයි සිතා අල්ලා ගැනීමට වෙර දරන විට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට ඇද වැටෙයි. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු විට පිටි බැදෙන්නාක් මෙන් ඔවුන්ගෙ ශරීර  පුපුරා ශීතලෙන් බැදෙයි. මේ ලෝකාන්තරික නිරය පවා එක් අවස්ථාවක දී පමණක් ආලෝකවත් වන බව ධර්මයේ දකවා ඇත. ඒ අසිරිමත් සම්මා සම්බුද්ධෝත්පත්තියකදී පමණි.

මෙලෙස තවත් බොහෝ කුඩා නිරයන් ඇති බවත් තමා කල පිං පව් අනුව මේවායේ උපත ලද හැකි බවත් අප මහා බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක.

නිරයට අධිපති යම රජු.

ඉහත කී මහා නිරයන් පාලනය කරන්නා යම රජු ලෙස හැඳින්වේ. යම යන්නෙහි අර්ථය "තීරණය කරන්නා" යන්නයි. එක් මහා නිරයකට යම රජ වරු සිව් දෙනා බැගින් අට මහා නිරයට යම රජ වරු තිස් දෙදෙනෙකු සිටිති. මෙම නිර වල සිව් දිග දොරටු පාලනය හිමි වන්නේ මොවුනටය. මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ නිරිසත්ත්වයන්ට දණ්ඩන ලබා දීමට අණ කිරීමයි. මීට අමතරව නිරය පාල නමින් හැඳින්වෙන විශාල පිරිසක්ද සිටී. මොවුන්ගේ කාර්යය භාරය වන්නේ නිරිසත්ත්වයන්ට දණ්ඩන පැමිණවීමයි.

මෙම යම රජ වරු හා නිරය පාලයෝ සැබවින්ම අපාගත පුද්ගලයෝ නොවෙති. මොවුන් චාතුම්මහාරාජික දෙව් ලොව වාසය කරන දෙවි වරු වන අතර පෙර කරන ලද අකුසල හේතුවෙන් අපායේ කාර්ය භාරයන් සඳහා පමුණුවා ඇත. මෙම දෙවි වරු හැඳින්වෙන්නේ "වේමානික පේතා" යන නමිනි.

නිරය පාලක යම රජුව හඳුන්වන විවිධ නම් ධර්ම ග්‍රන්ථ වල සඳහන්ව ඇත. ඒවා නම්,

අපක්ෂපාතී විනිශ්චය කරු යන අර්ථයෙන් 'සමවෘත්ති' යන නාමයද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් 'සමථ' යන නාමයද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද ලෙස දැක්විය හැකිය.

යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.

මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

බොහෝ පුද්ගලයන් සිතනුයේ අපාය යනු බිය ඇති කිරීම සඳහා ගොතන ලද මිත්‍යාවක් බවත්, නියම අපාය මෙලොවම ඇති බවත්ය. නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම නිගමණ සියල්ල මිත්‍යා දෘෂ්ටීන් බවය. බුද්ධ දෙශිතයට අනුව නියත මිත්‍යා දෘෂ්ටිය නියත අපා ගාමී වීමට හේතුවකි. එබැවින් අපාය විශ්වාස නොකර දුසිරිතෙහි යෙදෙන්නා මතු භවයේ ඒකාන්තයෙන්ම අත්දැකීමෙන්ම අපාය විශ්වාස කරනු ඇත. නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය..


තෙරුවන් සරණයි..


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු මූලාශ්‍ර ලෙස ධර්ම ග්‍රන්ථ හා අන්තර් ජාලය භාවිතා කරන ලදී.)



0 comments:

Post a Comment