Advertisement

Saturday, August 20, 2016

අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)

         
saptha bojjanga - සප්ත බෝජ්ජංග
ප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න වටහා ගනිමු. යමක් තේරුම් ගැනීම එසේත් නැතිනම් අවබෝධ කරගැනීම ඉගෙන ගැනීම ලෙස අර්ථ කථනය කළ හැකිය.

                 ඉගෙන ගැනීමට උදවු වන එසේත් නැතිනම් අවබෝධයට උදවු වන කරුණු හතක් බුද්ධ දේශනාවේ දක්වා ඇත. එය "සප්ත බෝජ්ජංග" ලෙස හැඳින්වේ. මුලින්ම මේ නම සෑදී ඇති ආකාරය විමසා බලමු. මෙහි සත්ත+බෝධි+අංග යන වචන තුනේ එකතුවෙන් මෙය නිර්මාණය වී ඇත. සප්ත ලෙස හඳුන්වන්නේ  හතටය. බෝධි යනු අවබෝධ කර ගැනීමය. අංග යනු කොටස්ය. එනම් මෙහි සිංහල අරුත වනුයේ අවබෝද කරගැනීමට ඇති කරුණු හත යන්නයි.

     එම අංග පිළිවෙලින් මෙසේය...

1. සිහිය පිළිබඳ බෝධි අංගය. (සති සම්බෝජ්ජංග)
2. විමසා දැනගැනීම පිළිබඳ බෝධි අංගය. (ධම්ම විචිය සම්බෝජ්ජංග)
3. විරිය පිළිබඳ බෝධි අංගය. (විරිය සම්බෝජ්ජංග)
4. ප්‍රීතිය පිළිබඳ බෝධි අංගය. (පීති සම්බෝජ්ජංග)
5. සංසිදීම පිළිබඳ බෝධි අංගය. (පස්සද්ධි සම්බෝජ්ජංග)
6.සිත එකඟ කිරීම පිළිබඳ බෝධි අංගය. (සමාධි සම්බෝජ්ජංග)
7.සිත සමව පවත්වා ගැනීම පිළිබඳ බෝධි අංගය. (උපේක්ඛා සම්බෝජ්ජංග)

1. සිහිය පිළිබඳ බෝධි අංගය. (සති සම්බෝජ්ජංග) 

            යහපත් සිහිය හෙවත් අකුසලයට බර නොවී සිත පවත්වා ගැනීම යි. සම්මා සතිය යනු ද මෙය වේ. ඉදුම්, හිටුම්, යාම්, ඊම්, හා සැතපීම් යන ඉරියව් වලදීත් එසේම කවර වැඩක යෙදුනත් ඒ පිළිබඳ ව කල්පනාවෙන් යුතුව කටයුතු කිරීමත්, හොඳ සිහියෙන් යුතුව කටයුතු කිරීම ලෙස සලකනවා. හොද සිහිය පවත්වා ගැනීමට හේතු වන කරුණු කිහිපයක් තියනවා. බුද්ධිමත් වීමත්, සිහියෙන් තොර පුද්ගලයන් ඇසුරු නොකිරීමත්, සිහිය ඇත්තවුන් ඇසුරු කිරීමත්, හොඳ සිහියෙන් සිටීමට කැමැත්තක් ඇතිවීමත් ඒවායින් කිහිපයක්. භාවනාවේ දි මෙන්ම හොඳින් ඉගෙන ගන්නටත් හොඳ සිහිය පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වේ.

2. විමසා දැන ගැනීම පිළිබඳ බෝධි අංගය. (ධම්ම විචිය සම්බෝජ්ජංග)

          මෙයින් අදහස් කරන්නේ සියල්ල පැහැදිලිව නිවැරදිව හදුනා ගැනීමයි.මෙය පිරිසිදු දැන ගැනීම ලෙස හැදින්වේ. භාවනාවේදී නම් සියල්ල වෙනස් වන බව (අනිත්‍ය) නිසාම දුක බව (දුක්ඛ) හා ස්ථිර නොමැති බව (අනාත්ම) තේරුම් ගැනීම වේ.

 3. විරිය පිළිබඳ බෝධි අංගය. (විරිය සම්බෝජ්ජංග)

               ඉදිරියට යන්නටමේ අනුබල දෙන සිතේ ගතිය විරිය යි. බලපොරොත්තු, අරමුණු, ඉටු වන තුරු ම උත්සහ කිරීම විරිය වේ. සම්මා වායාමය හෙවත් යහපත් උත්සාහය කියන්නෙත් මෙය වේ. කරගෙන ආ පින් තව තවත් වැඩන්නතත්, කලින් කල පවු යලි නොකරන්නටත්,නොකළ පවු කිසිදා නොකරන්නටත්, නොකළ කුසල් කරන්නට උත්සහ කරන්නටත් විරිය අත්‍යවශ්‍ය වේ.

4. ප්‍රීතිය පිළිබඳ බෝධි අංගය. (පීති සම්බෝජ්ජංග)

                 භාවනා කරන අයෙකුට සිතේ පැවතිය යුතුම දෙය සතුටය. සිත එකග කරගෙන දිගින් දිගටම භාවනාවේ යෙදිය හැක්කේ එවිට ය. ඉගෙන ගැනීමට සිතේ සතුට අත්‍යවශ්‍ය වේ. ප්‍රීතිය ඇති විට සිත සැහැල්ලුය එවිට ඕනෑම දෙයක් හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව උදා වනු ඇත.

5. සංසිදීම පිළිබඳ බෝධි අංගය. (පස්සද්ධි සම්බෝජ්ජංග)

             සිත් එක අරමුණක තබාගෙන සිටියදී සිත වෙහෙසට පත් විය හැකිය. එවිට සිතේ වෙහෙස සංසිඳවා ගැනීම මෙය වේ. එනම් යම් ක්‍රියාවක යෙදෙන කල්හි සිත වෙහෙසට පත් නොවන ආකාරයෙන් වැඩෙහි යෙදීමය. එනම් ප්‍රමාණය නොඉක්මවා කටයුත්තේ යෙදීමය. එය තුලින් අවබෝධය වැඩිකරගත හැක.

6.සිත එකඟ කිරීම පිළිබඳ බෝධි අංගය. (සමාධි සම්බෝජ්ජංග)

             මෙය නම් එක අරමුණක යෙදීම. සම්මා සමාධිය හෙවත් සිත එකග කරගැනීම කියනෙත් මෙයටම වේ.බුද්ධානුස්සති භාවනවෙනුත් බලාපොරොත්තු වන්නේද මෙය වේ. අවශ්‍ය ප්‍රමාණයට තම නියැලෙන කටයුත්ත නිම වන තෙක් එම අරමුණෙ රැදීම මෙය වේ.

7.සිත සමව පවත්වා ගැනීම පිළිබඳ බෝධි අංග. (උපේක්ඛා සම්බෝජ්ජංග)

සිත සමව පවත්වා ගැනීම ලෙස හැදින්වෙන්නේ සිතට කම්මැලිකමක් එන්නට නොදීමත් සිත සෙලවෙන්නට ඉඩ නොදිමත්ය. සිත සෙලවීමකට ලක්වන්නේ යම් දෙයකට ඇලීම හෝ ගැටීම තුලින්ය. මෙම තත්වයෙන් සිත මුදවාගෙන මැදිහත්ව පවත්වාගෙන යාම සිත සමව පවත්වා ගැනීම ලෙස හැඳින්වේ.

  • මෙම සත පුරුදු පුහුණු කිරීම තුලින් ඔබගේ අවබෝධය තව තවත් වැඩි දියුණු කර ගැනීමටත්, මතු මත්තේ උතුම් වූ නිර්වානාවබෝධයටත් හේතු වාසනා වේවා.

                                                               තෙරුවන් සරණයි!!!


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම බෞද්ධ සාහිත්‍යමය මූලාශ්‍ර වලිනි.)


0 comments:

Post a Comment