"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා"

සියලු පාපයන්ගෙන් වැළකෙන්න. නිතර කුසල් දහම්හි යෙදන්න.

"නහී වෙරේණ වෙරාණී"

වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳේ.

"අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා"

බාලයන් ඇසුරු නොකරන්න. නිතර ප්‍රඥාවන්තයින් ඇසුරු කරන්න.

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"

"මහණෙනි, මම චේතනාවට කර්මය යයි කියමි."-ගෞතම බුදු රජාණන් වහන්සේ.

"සබ්බේ සංඛාරා අනිච්චන්තී"

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය.

Advertisement

Wednesday, August 31, 2016

වර්තමානය නොදුටු අතීතය දුටු විශ්වයේ රහස්.

wishwaye rahas

මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද?

ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා.

ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට ,ආකාසනාඤ්චායතනය ආදී අරූපාවචර ලෝක (සිත මිස ඇති කය නැති බඹ ලොව) හතරක් පිළිබඳවත් විස්තර වෙනවා.

මීට අමතරව අංගුත්තර නිකායේ “චූලනිකා සූත්‍රයෙහි” සක්වළ (චක්‍රාවාට) ගැන කර ඇති බුද්ධ දේශනාවෙන් මේ වගේ ජීව ලෝක පිළිබඳව තවදුරටත් තොරතුරු අපට හමුවෙනවා. එනම් ‘සහස්සධා ලෝක “ධාතුවෙහි (චක්‍රවාට හෙවත් සක්වළ දහසක්හි) සඳ හිරු දහසක්, බුදුවරු උපදින ජම්බුදීප දහසක්, සදෙව් ලෝක දහසක් හා බ්‍රහ්ම ලෝක දහසක් ආදි වශයෙන් අනන්ත සක්වළවල් අතර එබඳු තවත් ජීවලෝකද තිබෙනවා. මෙවැනි තැන් සිඛී බුදුරදුන්ගේ (මණ්ඩ කල්පය ) අභිභු රහතන් වහන්සේට පවා විෂය වූ බව අප ගෞතම බුදුරදුන් ආනන්ද හිමියන්ට එහිදී විස්තර කර තිබෙනවා.

අපට ඍජු ලෙස සම්බන්ධ ඉහළ ජීව ලෝකවලට ඇති භූගෝලීය දුර ආසන්න වශයෙන්වත් විස්තර කරන්න පුළුවන්ද? ඔව් සාමාන්‍යයෙන් “චාතුම් මහා රාජිකය” දිව්‍ය ලෝකය මනුලොව සිට සිරස්ව (ඉලිප්සාකාරව නොව) යොදුන් හතළිස් දෙදහක් උසින් පිහිටා ඇති බවට විශ්වාස කෙරෙනවා. එනම්, මහමේරු පර්වතයට පිරිවරව සිටින යුගන්ධර නම් දිව්‍ය (සූක්‍ෂම මිනිස් ඇසට නොපෙනෙන) පර්වතය මත පිහිටි බව කියවෙනවා.

ඊඟාවට “තාවතිංසය” (තව්තිසා දිව් ලොව) යුගන්ධර පර්වතයෙන් යොදුන් හතළිස් දෙදහක් (මනුලොව සිට යොදුන් අසූ හතර දහසක්) ඉහළ මට්ටමේ පිහිටා ඇතැයි සැලකෙනවා. මේ “චාතුර් මහා රාජිකය” හා “තාවතිංසය” යන දෙදෙව් ලොවට අධිපති (ප්‍රධානියා) වන්නේ සක්‍රයා හෙවත් සක්දෙව් රජුයි.

එතැන් සිට ඉහළට එක් එක් දිව්‍ය භූ®මියක්ම පිහිටා ඇත්තේ, එකකට එකක් යොදුන් හතළිස් දෙදහස බැගින් උසින් සිටින සේයි. මේ අනුව, සලකන විට පරනිම්මිත වසවත්ති දෙව්ලොව පිහිටා ඇත්තේ පෘථීවි මට්ටමෙන් යොදුන් දෙලක්‍ෂ පනස් දෙදහසක් පමණ උසකිනුයි.

මේ සදෙව් ලෝකවලටත් ඉහළිනුයි. බ්‍රහ්ම ලෝක ක්‍රමිකව ඉහළට පිහිටා ඇත්තේ, එහි “බ්‍රහ්ම පාරිසජ්ජය” පහළම බ්‍රහ්ම ලෝකය වන අතර ඉහළින්ම පිහිටා ඇත්තේ, “අකණ්ඨක” නම් බ්‍රහ්ම ලෝකයයි. ලෝහ ප්‍රසාදයෙහි (ලෝවාමහාපාය) සත්වෙනි කූටාගාරයට සමාන මහා විශාල පාෂාණයක් (ගලක්) එම බඹලොව සිට පහළ (බිම ) ට දැමුවහොත් එය අවම වශයෙන් පෘථිවියට වැටීමට මාස හතරක්වත් ගත වේවි. ඒ තරම්ම දුරකිනුයි බඹලොව පිහිටා තියෙන්නේ. මේ ලෝකවලට අපිට යා හැක්කේ, සිත දියුණු කිරීමෙනුයි. ඒ සඳහා කුසල් වැඩීමෙන් හැර, ඒ වෙත ළඟාවිය හැකි වෙනත් භෞතික නවීන යානා නැහැ.

එතකොට, එම ඉහළ තලවල පිහිටි ජීව ලෝකවල වෙසෙන දෙව් බඹුන් පිළිබඳව බුදුදහමේ විස්තර වෙන්නේ කොහොමද?

ශක්‍ර දේවේන්ද්‍ර ,වසවර්ති දිව්‍ය රාජයා සහ සුබ්‍රහ්ම දිව්‍ය රාජයා ප්‍රමුඛ අවශේෂිත වූ දෙව් බඹුන් රාශියක් ඒවායේ වාසය කරනවා. අංගුත්තර නිකායේ, දුක නිපාතයේ “සමචිත්ත සූත්‍රය” අසා සාධු නාද පැවැත්වු දෙව්වරුන්ගේ නම් අංගුත්තර අත්ථී කථාවෙහි දැක්වෙනවා. එහි සොතායතන නොලැබෙන අසඤ්ඤසත්තයෙහි හා අරූපාවචර ලෝකවල සත්වයන් හැර සොතායතනය පවත්නා දෙතිස් (32) දෙවිවරු පිළිබඳව පමණක් විස්තර කෙරෙනවා. එම පිරිස් මෙසේයි.

ආකාසට්ඨක දෙවිවරු, අබ්භවළාහක දෙවිවරු, උණ්හවළාහක දෙවිවරු, සීත වළාහක දෙවිවරු, වස්ස වළාහක දෙවිවරු, චාතුම්මහාරාජක දෙවිවරු, සතරවරම් දෙවිවරු, තාවතිංස දෙවිවරු, ශක්‍ර දෙවියෝ, යාම දෙවිවරු ,සුසාමය දෙවිවරු, තුසිත දෙවිවරු, සන්තුසිත දෙවිවරු, නිර්මාණරතී දෙවිවරු, සුනිර්මිත දෙවිවරු, වශවර්ති, දෙවිවරු, වශවර්ති දිව්‍ය රාජයා , බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්ම බ්‍රහ්මයෝ, පරිත්තාභ බ්‍රහ්මයෝ අප්පමාණභ බ්‍රහ්මයෝ, ආභස්සර බ්‍රහ්මයෝ ,පරිත්තසුභ බ්‍රහ්මයෝ, අප්පමාණසුභ බ්‍රහ්මයෝ ,සුභකිණ්න බ්‍රහ්මයෝ,වේහප්පල බ්‍රහ්මයෝ ,අවිභ බ්‍රහ්මයෝ, ආතප්ථ බ්‍රහ්මයෝ, සුදස්ස බ්‍රහ්මයෝ, සුදස්සි බ්‍රහ්මයෝ සහ අකණිට්ඨ බ්‍රහ්මයෝ ඒ අතර සිටිනවා.

මේ කියපු දෙව් බඹුන්ගේ ආයු කාලයත් එකිනෙක පිරිසට වෙනස් වෙනවාද?

(කාල අවකාශය බුදු ඇසින් සහ විදු ඇසින් ලිපිය බලන්න.)
ඔව් චාතුම්මහාරාජිකයේ දිව්‍ය වර්ෂ 500 යි. තාවතිංසයෙ දිව්‍ය වර්ෂ 1000 යි. යාමයේ දිව්‍ය වර්ෂ 2000 යි. තුසිතයේ දිව්‍ය වර්ෂ 4000 යි. නිර්මාණ රතියේ දිව්‍ය වර්ෂ 8000 යි. පරනිම්මිතවසවත්තියේ දිව්‍ය වර්ෂ 16000 යි වශයෙන් ආයුකාලය දක්වා තිබෙනවා. මෙම ආයු කාලයන් මනුෂ්‍ය වර්ෂවලට වඩා බෙහෙවින් වැඩිවෙනවා. ඉහළ බ්‍රහ්ම ලෝකවල ආයු ප්‍රමාණය දිව්‍යලෝකවල ආයු කාලයටත් වඩා ඉතාම වැඩියි.

ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉහත නම් සඳහන් කළ බ්‍රහ්මයින් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඒවායේ වෙසෙන බව “ආටානාටිය සූත්‍රයේ” විස්තර වෙනවා. ආටානාටියේ කියැවෙන සත්බුදුවරු (විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා අප ගෞතම යන බුදුවරුන් සත්දෙනා) සියැසින් දුටු අනාගාමී බ්‍රහ්මයන් ඉහළ බඹතලවල තවමත් වැඩ වෙසෙනවා. ඒ නිසායි, ඉතා මෑත කල්පවල (ආසන්නතම) බදුවරුන්ගේ නම් “ආටානාටිය” ට ඇතුළත් කර තිබෙන්නේ.

ඒ වගේම, සහසක් සක්වළ දෙව් බඹුන් අප ගෞතම බුදුරදුන් සහ මහා සඟරුවන දැකීමට දඹදිව කිඹුල්වත් නුවර මහා වනයට පැමිණි බව “මහා සමය සූත්‍රයේ ” දැක්වෙනවා.දෙවියන් හා අසුරයන් අතර පැවති සටනක් ගැන හා ප්‍රජාපති වරුණ ඊසාන දෙවිවරු පිළිබඳව “ධජග්ග සූත්‍රයේ” සඳහන් වෙනවා.

අප ගෞතම බුදු හාමුදුරුවෝ “මනුෂ්‍ය ලෝකේ සිට එබදු දිව්‍ය ලෝක වෙත වැඩම කළ අවස්ථා පිළිබඳවත් බුදුදහමේ විස්තර වෙනවා නේද?

ඔව්. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්වෙනි වස් කාලය ගත කළේ “තව්තිසා” දෙව් ලොවේ. එහිදි මාතෘ දිව්‍ය පුත්‍රයා (පෙර මහමායා දේවිය) ප්‍රමුඛ දිව්‍ය සමූහයාට උන්වහන්සේ අභිධර්මය දේශනා කරන්නට යෙදුණා. එම කාලය තුළ අප බුදුරදුන්ට ඇප උපස්ථාන කරනු ලැබුවේ. සක්දෙවි ඇතුළු දෙවිවරුන් විසිනුයි.

එම වස්තුන් මාසයෙන් පසු, බුදුහිමියන් යළි මනුලොව වෙත දඹදිව සංකස්සපුර නගරද්වාරයෙන් වැඩම කිරීම සිදුවුණා. එලෙස දිව්‍යලෝකයේ සිට මනුලෝකය (පෘථිවිය ) ට වැඩම කළ අසිරිමත් අවස්ථාව “දේවාරෝහණ උත්සවය” ලෙස හඳුන්වනවා. එය කලින් දැනගෙන මුගලන් හිමියන් (ඍද්ධිමතුන් අතර අගතැන් පත් හා අග්‍රශ්‍රාවක) ඊට අවැසි වූ සියලු කටයුතු සූදානම් කරන්නට යෙදුණා.

ඒ අනුව, බුදුරදුන් වැඩම කරන මොහොතේ, ඉන්දියාවේ සංකස්සපුරයට රැස්ව සිටි සැදැවතුන් අතර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා ද වුණා. සංකස්සපුර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා හෙවත් මේ මහා භද්‍රකල්පයේ අවසන් බුදුවරයා වන මෙත් බෝ සතුන්ද දිව්‍ය ශ්‍රීය දැක බලා පැහැදි ගෞතම බුදු සසුණේ පැවිදි වී උපසම්පදාව ලබා ගැනීම විශේෂ සිද්ධියක් වෙනවා.

බුදුරදුන්ගේ මෙම මනුෂ්‍ය දිව්‍යලෝක ගමනය සහ පිටසක්වල තරණය කිරිමේ “අනාගත අභ්‍යයවකාශ සෝපාන” ක්‍රමය අතර කිසියම් සාම්‍ය බවක් තිබෙන්නට බැරිද?

ඔබ ඔය “අනාගත අභ්‍යවකාශ සෝපාන” ක්‍රමය කියන්නේ, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ අවසාන විද්‍යා ප්‍රබන්ධයක් වන The Finale Therom (අවසන් සිද්ධාන්තය) කෘතියේ එන සංකල්පය විය යුතුයි. එම කෘතියේ , එතුමා (ආතර් සී ක්ලාක්) ඒක විස්තර කර තියෙන්නෙ මෙහෙමයි.

ගුරුත්වය ද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ශ්‍රී ලංකාවේ ඉදිවෙද්දී ඉන්දියන් සාගරයේ “ලාස් වේගාස්” යන අනුවරත නාමය කොළඹ නගරයට ලැබෙයි” යනුවෙන්.

ක්ලාක් මහතා කියපු” චන්ද්‍රිකා තාක්‍ෂණය,’ පිළිබඳව අනාවැකිය සැබෑ වු පළියටම මේ කියන ගුරුත්වයද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ලංකාවේ ඉදිවෙනවා කියන අනාගත අනාවැකිය කොයිතරම් දුරට යථාර්ථයක් වෙයිද කියන්න බැහැ. එහෙම වුණත් හැබැයි, භෞතිකව නිර්මාණය කරන ඔය කියන අභ්‍යවකාශ සෝපානවලින් අපේ සක්වළ ළඟ තියෙන ග්‍රහලෝක වලට ගියත්, ඉහල තලවල පිහිටි දිව්‍ය ලෝකවලට නම් යන්න බැහැ.

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි 

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

තෙරුවන් සරණයි....!

Tuesday, August 30, 2016

ලොවක අවසානය බුදු නුවණින් දුටු අයුරු. (සත්තසුරියුග්ගමන සූත්‍රය)

End of the world, ලොවක අවසානය, සත්තසුරියුග්ගමන, ලෝක විනාසය

සුර්යයා අපව කෙසේ ගිල ගනීද? 
සත්වයාගේ ඉරණම කෙසේ වේද? 
ලෝකයේ දුවිල්ලක් වත් ඉතුරුවේද? 
ඉන් පසු කුමක් වේද?

                   මෑත භාගයේදී විශාල වශයෙන් කතාවේ යෙදුනු මතෘකාවක් පිලිබඳ බුද්ධ දේශනාවේ සදහන් වන "සත්තසුරියුග්ගමන සූත්‍රය"  සිංහල අරුතෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

                   එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” යනුවෙන් භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එවිට මෙසේ වදාළ සේක.

මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ.
 මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ.
 මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. 
 මහණෙනි, යමි බඳු වූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.

මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.

දුර්භික්ෂ සමයක්

මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. 
මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

දෙවන හිරැ පහල වෙයි

මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සූර්යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

තෙවන හිරැ පහල වෙයි

කවර කාලයෙක හෝ දීර්ග කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

සිවිවන හිරැ පහල වෙයි

මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය.
මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.

පස්වන හිරැ පහල වෙයි

මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.

සවන හිරැ පහල වෙයි

ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

සත්වැනි හිරැ පහල වෙයි

මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අළු නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මෙ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද, ගින්නෙන් ඩැහැ ගන්නේයයි, විනාශ වන්නේයයි දැක්කවුන් හැර (සංස්කාරයන් මනා කොට දැක්කවුන් ,ආර්‍යයන් හැර) කවරෙක් සිතාද, කවරෙක් අදහාද?

මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ථක නායකවූ සුනේත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනේත්‍ර නම් ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනේත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්මය දේශනා කරන්නාවූ සුනේත්‍ර ශාස්තෘවරයාගේ සියඵ ශාසනය ඔවුහු සර්වප්‍රකාරයෙන් දත්තෝය. කායයාගේ බිදීමෙන් මරණින් මතු සුගතිය නමි වු බඹලොව උපන්හ.

යමි කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳිමෙන් මරණින් මතු ඇතැමි කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් නිර්මාණරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැමිහු යාම දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් තවිතිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැමිහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැමි කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.

මහණෙනි, ඉක්බිති, සුනේත්‍ර ශාස්තෘවරයාට මෙ අදහස විය. ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. මම මත්තෙහි මෛත්‍රීය වඩන්නේ නමි ඉතා යෙහෙක කියායි. මහණෙනි, ඉක්බිති, සුනේත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.

මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.

නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනන සුළු ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූර වූ, විර වූ, අන්‍ය සේනා පරදවන මනා අඟ පසඟ ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවර කොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනේත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්ක වූ වත්, චිරස්ථායි වුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්ත වූයේ යයි කියමි.

මහණෙනි, එයට හේතු කවරේද
සතර ධර්මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවෙධ නොකිරීමෙනි. 
කවර සතර ධර්මයන්ගේද යත්
ආර්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්ද යනුයි.


"මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්ය ශීලය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී ...ආර්ය සමාධිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී.ආර්ය ප්‍රඥාව අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...භව තෘෂ්ණාව උපුටා දමන ලදී ...භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය ...දැන් නැවත ඉපදීමක් නැත ..." භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක...දේශනාකොට සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක...

"ශීලයද,සමාධියද ,ප්‍රඥාවද ,ලෝකෝත්තර මිදීමයයි කියන ලද අරහත් ඵලයද යන ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය ...

"මෙසේ බුද්ධ තෙම විශ්ෂ්ඨ ඥානයෙන් මනාකොට දන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක.සසර දුක් කෙළවර කළාවූ ,පසැස් ඇත්තා වූ ශාස්තෲ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක .... "


තෙරුවන් සරණයි.
(උපුටා ගැනීමකි)


Wednesday, August 24, 2016

අෂ්ඨ මහා නිරයන්ට අමතරව තවත් කුඩා නිර තිබේද?

ata maha niraya


අෂ්ඨ මහා නිරයන් පිලිබඳ ඔබ නොදත් තතු යන ලිපිය යටතේ අට මහා නිරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම ලිපිය මඟින් ගවේෂණයට සූදානම් වන්නේ එම අට මහා නිරයට අමතරව ඇති කුඩා නිරයන් පිළිබඳවය.

බුදු දහමේ අට මහා නිරයන්ට අමතරව තවත් ක්‍ෂුද්‍ර නිරයන් ගණනාවක් දක්වා ඇත. මේවා අතරින් ප්‍රධාන නිරයන් කිහිපයක තතු පමණක් මෙම ලිපිය ඔස්සේ සවිස්තරාත්මකව සාකච්චා කරමු.
ප්‍රධාන ක්‍ෂුද්‍ර නිර සතර පහත පරිදි වේ.

  1. ගූථ නිරය 
  2. කුක්කුල නිරය
  3. අසිපත් වන නිරය 
  4. සම්බලි වන නිරය

1.ගූථ නිරය.

මෙම නිරය කැකෑරුණු අසූචියෙන් පිරුණු ස්ථානයකි. කර්මානුරූපව තමා කළ අකුසලයන් හේතුවෙන් සත්ත්වයෝ මෙහි උපත ලබා අනන්ත වූ අපා දුක් විඳිති. උණ ගස්, පොල් ගස්, තල් ගස් වැනි මහත පණුවන්ගෙන් පිරුණු මෙම නිරයට වැටෙන නිරිසත්වයා මෙම මහා පනුවන්ගේ ගොදුරු බවට නිරතුරුව පත්ව දැඩි දුකට පැමිණෙනු ඇත.

2.කුක්කුල නිරය.

සෑම තැනක්ම ගිණි අළු වලින් පිරී ඇත. ඊට යටින් ඇති ගිණි අඟුරු වලින් මෙම අළු නිතරම උණුසුම් වන බැවින් මෙහි උපදින සත්වයෝ අධික උණුසුමෙන් තම අකුසල අවසන් වන තුරු දුක් විඳිති.

3.අසිපත් වන නිරය.

මෙම නිරයෙහි ඇති විශාල ගස් වල ඇති පත්‍ර කඩු මෙන් මුවහත් අතර මෙම නිරයෙහි ඇති තෘණ දැලිපිහි මෙන් මුවහත් ය. කර්මානුරූපව මෙහි වැටෙන සත්ත්වයෝ මෙම පත්‍ර වලට කැපී අනන්ත දුක් විඳිති.

4.සම්බලි වන නිරය.

මෙම නිරයේ ඇති ගස් මත අතිශය තියුණු කටු ඇති අතර මෙම කටු මෙම නිරයේ පහල වන නිරිසතුන්ගේ සිරුරු පාසා කරගෙන ගියද තම අකුසල කර්ම ක්‍ෂය වන තුරු ඔවුන් මෙම දුක් ඉවසා ගත යුතුය.

ලෝකාන්තරික නිරය


මෙම නිරය  අතිශයින්ම සීතල නිරයකි. ලෝකාන්තරික නිරය  සදා කාලික අඳුරේ ඇත. මේ නිරය පතුලේ අතිශයින්ම සිහිල් ජලය ඇත. මෙහි පහල වන නිරි සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී එහෙ මෙහෙ යන අතර තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙන විට කෑමක් යයි සිතා අල්ලා ගැනීමට වෙර දරන විට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට ඇද වැටෙයි. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු විට පිටි බැදෙන්නාක් මෙන් ඔවුන්ගෙ ශරීර  පුපුරා ශීතලෙන් බැදෙයි. මේ ලෝකාන්තරික නිරය පවා එක් අවස්ථාවක දී පමණක් ආලෝකවත් වන බව ධර්මයේ දකවා ඇත. ඒ අසිරිමත් සම්මා සම්බුද්ධෝත්පත්තියකදී පමණි.

මෙලෙස තවත් බොහෝ කුඩා නිරයන් ඇති බවත් තමා කල පිං පව් අනුව මේවායේ උපත ලද හැකි බවත් අප මහා බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක.

නිරයට අධිපති යම රජු.

ඉහත කී මහා නිරයන් පාලනය කරන්නා යම රජු ලෙස හැඳින්වේ. යම යන්නෙහි අර්ථය "තීරණය කරන්නා" යන්නයි. එක් මහා නිරයකට යම රජ වරු සිව් දෙනා බැගින් අට මහා නිරයට යම රජ වරු තිස් දෙදෙනෙකු සිටිති. මෙම නිර වල සිව් දිග දොරටු පාලනය හිමි වන්නේ මොවුනටය. මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ නිරිසත්ත්වයන්ට දණ්ඩන ලබා දීමට අණ කිරීමයි. මීට අමතරව නිරය පාල නමින් හැඳින්වෙන විශාල පිරිසක්ද සිටී. මොවුන්ගේ කාර්යය භාරය වන්නේ නිරිසත්ත්වයන්ට දණ්ඩන පැමිණවීමයි.

මෙම යම රජ වරු හා නිරය පාලයෝ සැබවින්ම අපාගත පුද්ගලයෝ නොවෙති. මොවුන් චාතුම්මහාරාජික දෙව් ලොව වාසය කරන දෙවි වරු වන අතර පෙර කරන ලද අකුසල හේතුවෙන් අපායේ කාර්ය භාරයන් සඳහා පමුණුවා ඇත. මෙම දෙවි වරු හැඳින්වෙන්නේ "වේමානික පේතා" යන නමිනි.

නිරය පාලක යම රජුව හඳුන්වන විවිධ නම් ධර්ම ග්‍රන්ථ වල සඳහන්ව ඇත. ඒවා නම්,

අපක්ෂපාතී විනිශ්චය කරු යන අර්ථයෙන් 'සමවෘත්ති' යන නාමයද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් 'සමථ' යන නාමයද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද ලෙස දැක්විය හැකිය.

යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.

මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

බොහෝ පුද්ගලයන් සිතනුයේ අපාය යනු බිය ඇති කිරීම සඳහා ගොතන ලද මිත්‍යාවක් බවත්, නියම අපාය මෙලොවම ඇති බවත්ය. නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම නිගමණ සියල්ල මිත්‍යා දෘෂ්ටීන් බවය. බුද්ධ දෙශිතයට අනුව නියත මිත්‍යා දෘෂ්ටිය නියත අපා ගාමී වීමට හේතුවකි. එබැවින් අපාය විශ්වාස නොකර දුසිරිතෙහි යෙදෙන්නා මතු භවයේ ඒකාන්තයෙන්ම අත්දැකීමෙන්ම අපාය විශ්වාස කරනු ඇත. නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය..


තෙරුවන් සරණයි..


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු මූලාශ්‍ර ලෙස ධර්ම ග්‍රන්ථ හා අන්තර් ජාලය භාවිතා කරන ලදී.)



Saturday, August 20, 2016

අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)

         
saptha bojjanga - සප්ත බෝජ්ජංග
ප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න වටහා ගනිමු. යමක් තේරුම් ගැනීම එසේත් නැතිනම් අවබෝධ කරගැනීම ඉගෙන ගැනීම ලෙස අර්ථ කථනය කළ හැකිය.

                 ඉගෙන ගැනීමට උදවු වන එසේත් නැතිනම් අවබෝධයට උදවු වන කරුණු හතක් බුද්ධ දේශනාවේ දක්වා ඇත. එය "සප්ත බෝජ්ජංග" ලෙස හැඳින්වේ. මුලින්ම මේ නම සෑදී ඇති ආකාරය විමසා බලමු. මෙහි සත්ත+බෝධි+අංග යන වචන තුනේ එකතුවෙන් මෙය නිර්මාණය වී ඇත. සප්ත ලෙස හඳුන්වන්නේ  හතටය. බෝධි යනු අවබෝධ කර ගැනීමය. අංග යනු කොටස්ය. එනම් මෙහි සිංහල අරුත වනුයේ අවබෝද කරගැනීමට ඇති කරුණු හත යන්නයි.

     එම අංග පිළිවෙලින් මෙසේය...

1. සිහිය පිළිබඳ බෝධි අංගය. (සති සම්බෝජ්ජංග)
2. විමසා දැනගැනීම පිළිබඳ බෝධි අංගය. (ධම්ම විචිය සම්බෝජ්ජංග)
3. විරිය පිළිබඳ බෝධි අංගය. (විරිය සම්බෝජ්ජංග)
4. ප්‍රීතිය පිළිබඳ බෝධි අංගය. (පීති සම්බෝජ්ජංග)
5. සංසිදීම පිළිබඳ බෝධි අංගය. (පස්සද්ධි සම්බෝජ්ජංග)
6.සිත එකඟ කිරීම පිළිබඳ බෝධි අංගය. (සමාධි සම්බෝජ්ජංග)
7.සිත සමව පවත්වා ගැනීම පිළිබඳ බෝධි අංගය. (උපේක්ඛා සම්බෝජ්ජංග)

1. සිහිය පිළිබඳ බෝධි අංගය. (සති සම්බෝජ්ජංග) 

            යහපත් සිහිය හෙවත් අකුසලයට බර නොවී සිත පවත්වා ගැනීම යි. සම්මා සතිය යනු ද මෙය වේ. ඉදුම්, හිටුම්, යාම්, ඊම්, හා සැතපීම් යන ඉරියව් වලදීත් එසේම කවර වැඩක යෙදුනත් ඒ පිළිබඳ ව කල්පනාවෙන් යුතුව කටයුතු කිරීමත්, හොඳ සිහියෙන් යුතුව කටයුතු කිරීම ලෙස සලකනවා. හොද සිහිය පවත්වා ගැනීමට හේතු වන කරුණු කිහිපයක් තියනවා. බුද්ධිමත් වීමත්, සිහියෙන් තොර පුද්ගලයන් ඇසුරු නොකිරීමත්, සිහිය ඇත්තවුන් ඇසුරු කිරීමත්, හොඳ සිහියෙන් සිටීමට කැමැත්තක් ඇතිවීමත් ඒවායින් කිහිපයක්. භාවනාවේ දි මෙන්ම හොඳින් ඉගෙන ගන්නටත් හොඳ සිහිය පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වේ.

2. විමසා දැන ගැනීම පිළිබඳ බෝධි අංගය. (ධම්ම විචිය සම්බෝජ්ජංග)

          මෙයින් අදහස් කරන්නේ සියල්ල පැහැදිලිව නිවැරදිව හදුනා ගැනීමයි.මෙය පිරිසිදු දැන ගැනීම ලෙස හැදින්වේ. භාවනාවේදී නම් සියල්ල වෙනස් වන බව (අනිත්‍ය) නිසාම දුක බව (දුක්ඛ) හා ස්ථිර නොමැති බව (අනාත්ම) තේරුම් ගැනීම වේ.

 3. විරිය පිළිබඳ බෝධි අංගය. (විරිය සම්බෝජ්ජංග)

               ඉදිරියට යන්නටමේ අනුබල දෙන සිතේ ගතිය විරිය යි. බලපොරොත්තු, අරමුණු, ඉටු වන තුරු ම උත්සහ කිරීම විරිය වේ. සම්මා වායාමය හෙවත් යහපත් උත්සාහය කියන්නෙත් මෙය වේ. කරගෙන ආ පින් තව තවත් වැඩන්නතත්, කලින් කල පවු යලි නොකරන්නටත්,නොකළ පවු කිසිදා නොකරන්නටත්, නොකළ කුසල් කරන්නට උත්සහ කරන්නටත් විරිය අත්‍යවශ්‍ය වේ.

4. ප්‍රීතිය පිළිබඳ බෝධි අංගය. (පීති සම්බෝජ්ජංග)

                 භාවනා කරන අයෙකුට සිතේ පැවතිය යුතුම දෙය සතුටය. සිත එකග කරගෙන දිගින් දිගටම භාවනාවේ යෙදිය හැක්කේ එවිට ය. ඉගෙන ගැනීමට සිතේ සතුට අත්‍යවශ්‍ය වේ. ප්‍රීතිය ඇති විට සිත සැහැල්ලුය එවිට ඕනෑම දෙයක් හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව උදා වනු ඇත.

5. සංසිදීම පිළිබඳ බෝධි අංගය. (පස්සද්ධි සම්බෝජ්ජංග)

             සිත් එක අරමුණක තබාගෙන සිටියදී සිත වෙහෙසට පත් විය හැකිය. එවිට සිතේ වෙහෙස සංසිඳවා ගැනීම මෙය වේ. එනම් යම් ක්‍රියාවක යෙදෙන කල්හි සිත වෙහෙසට පත් නොවන ආකාරයෙන් වැඩෙහි යෙදීමය. එනම් ප්‍රමාණය නොඉක්මවා කටයුත්තේ යෙදීමය. එය තුලින් අවබෝධය වැඩිකරගත හැක.

6.සිත එකඟ කිරීම පිළිබඳ බෝධි අංගය. (සමාධි සම්බෝජ්ජංග)

             මෙය නම් එක අරමුණක යෙදීම. සම්මා සමාධිය හෙවත් සිත එකග කරගැනීම කියනෙත් මෙයටම වේ.බුද්ධානුස්සති භාවනවෙනුත් බලාපොරොත්තු වන්නේද මෙය වේ. අවශ්‍ය ප්‍රමාණයට තම නියැලෙන කටයුත්ත නිම වන තෙක් එම අරමුණෙ රැදීම මෙය වේ.

7.සිත සමව පවත්වා ගැනීම පිළිබඳ බෝධි අංග. (උපේක්ඛා සම්බෝජ්ජංග)

සිත සමව පවත්වා ගැනීම ලෙස හැදින්වෙන්නේ සිතට කම්මැලිකමක් එන්නට නොදීමත් සිත සෙලවෙන්නට ඉඩ නොදිමත්ය. සිත සෙලවීමකට ලක්වන්නේ යම් දෙයකට ඇලීම හෝ ගැටීම තුලින්ය. මෙම තත්වයෙන් සිත මුදවාගෙන මැදිහත්ව පවත්වාගෙන යාම සිත සමව පවත්වා ගැනීම ලෙස හැඳින්වේ.

  • මෙම සත පුරුදු පුහුණු කිරීම තුලින් ඔබගේ අවබෝධය තව තවත් වැඩි දියුණු කර ගැනීමටත්, මතු මත්තේ උතුම් වූ නිර්වානාවබෝධයටත් හේතු වාසනා වේවා.

                                                               තෙරුවන් සරණයි!!!


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම බෞද්ධ සාහිත්‍යමය මූලාශ්‍ර වලිනි.)


Thursday, August 18, 2016

අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell

අෂ්ඨ මහා නරක (ata maha naraka)

අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

අෂ්ඨ මහා නරක යනු මොනවාද?

අප මහා බුදු රජාණන් වහන්සේ වදාළ කාම ලෝක 11 ට අයත් සතර අපායෙන් එක් අපායක් වන නරකය හෙවත් නිරය ප්‍රධාන කොටස් 8 කට බෙදා දක්වා ඇත. මේවා අෂ්ඨ මහා නරක ලෙස හැඳින්වේ. සත්ත්වයා තම කර්ම ශක්තියේ අධාරයෙන් මෙකී නරක වල ඕපපාතිකව උපත ලබා අකුසල කර්ම ක්‍ෂය වූ කළ නැවත චුත වෙයි.

මෙම අෂ්ඨ මහා නරක පිළිවෙලින් පහත දැක්වේ.
  1. සංජීව නිරය
  2. කාල සූත්‍ර නිරය 
  3. සංඝාත නිරය
  4. රෞරව නිරය
  5. මහා රෞරව නිරය
  6. තාප නිරය
  7. ප්‍රතාප නිරය
  8. අවීචි මහා නිරය

1.සංජීව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් පළමු වන නරකය වන මෙම නිරයට අද වැටෙන නිරිසත්ත්වයාව රක්ත වර්ණ වන සේ රත් වූ ලෝහ ආයුධ වලින් තලා, පෙලා, කපා විවිධ වූ වධ බන්ධන පමුණුවයි. . කර්මානුරූපව එකම දඬුවම නැවත නැවත විඳීමට සිදු වන නිසා මෙම නිරය සංජීව නිරය ලෙස හඳුන්වා ඇත.

විහාරස්තාන විනාශ කිරීම, බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම, ඒවාට අගෞරව කිරීම, අන් අයගේ වාසස්ථාන විනාශ කිරීම වැනි දුසිරිත් වල යෙදුනවුන් මෙම සංජීව නිරයේ ඉපිද අපා දුක් විඳිති.

මිනිසුන් හට අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව් ලොවෙහි දෙවියන්ට එක් දවසකි. එවන් තිස් දවසක් එම දෙව් ලොවෙහි මාසයකි. එවන් මාස 12ක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එම දෙවියනට අවුරුදු 500ක් ආයුෂ ඇත. එම දිව්‍යායුෂ වූ අවුරුදු 500 සංජීව නරකයෙහි එක් දවසකි. එවන් තිස් දවසක් මාසයක් වෙයි. එවන් මාස 12ක් අවුරුද්දක් වෙයි. එවන් අවරුදු 500ක් එම නිරයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ අනූ ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි.

එබඳු දින තිහක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර 500ක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

2.කාල සූත්‍ර නිරය

අෂ්ඨ මහා නරක අතුරින් දෙවන නරකය වන මෙම නිරයට අද වැටෙන නිරිසත්ත්වයින්ගේ සිරුරෙහි කළු පැහැ නූලකින් සලකුණු තබා එම සලකුණු ඔස්සේ වෑයකින් රහිනු ලැබේ. මෙසේ සිරුර කළු නූලකින් සලකුණු කර දණ්ඩනයට භාජනය කරන බැවින් මෙම නිරය "කාල සූත්‍ර" නිරය ලෙස හඳුන්වා ඇත.  තම අකුසල කර්ම ගෙවී යන තෙක් සත්ත්වයාට මෙම නිරයේ අපා දුක් විඳීමට සිදු වන බව ධර්මයේ දක්වා ඇත.

දෙමව්පියනට නොසැලකීම, සුරා සූදුවට ඇබ්බැහිව සිටීම, අන් අයගේ දේපල, වස්තුව වංචනිකව තමා සන්තක කර ගැනීම, අන් අයගේ අයහපත උදෙසා හදී හූනියම් කිරීම වැනි අකුසල කර්ම වල යෙදුනවුන් මෙම නිරයේ ඕපපාතිකව පහළව අනන්ත වූ අපා දුක් විඳිති.

මිනිසුන් හට අවුරුදු 100ක් තව්තිසා දෙව් ලොවෙහි දෙවියන්ට එක් දවසකි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර 1000 ක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

3.සංඝාත නිරය

අෂ්ඨ මහා නරක අතුරින් තෙවන නරකය වන මෙම නිරයෙහි උපත ලද තැනැත්තාව දීප්තිමත් උණුසුම් වළල්ලකින් දුහුවිලි වන තරමට කුඩා කැබලි වලට කඩා දමන බැවින් මෙම නිරය සංඝාත නිරය ලෙස හැඳින්වේ. මෙසේ කෙතරම් වධ බන්ධන දුන්නද සත්ත්වයා නැවත නැවත එලොවම පහල වේ, මෙය නවතිනුයේ, ඔහුගේ අකුසල කර්ම ගෙවී අවසන් වූ විටදී පමණි.

පොදු දේපල, අන් සතු දේපල ගසා කෑම, අවි ආයුධ වලින් මිනිසුන්, ගව මහීශාදීන්ට හිංසා පැමිණවීම හා ඝාතනය කිරීම, තම අඹු දරුවන් මුදලට විකිණීම වැනි කරුණු හේතුවෙන් සත්ත්වයෝ මෙම සංඝාත නිරයේ උපත ලබති.

මිනිසුන් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

4.රෞරව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් සිව් වන නරකය වන මෙම නරකයේ උපත ලබන සත්ත්වයෝ ඉතා විෂ දුමකින් පිළිස්සෙන බැවින් නිතරම වේදනාවෙන් හඬන බව ධර්මයේ සඳහන් වේ. මෙම නිරය දූම රෝරුව හෙවත් රෞරව නිරය ලෙස හැඳින්වේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ජල මූලාශ්‍ර කෙළසීම වැනි අකුසල කර්ම කළවුන් කර්මානුරූපීව මෙම නිරයේ උපත ලබති. පාපී පුද්ගලයන්ට අල්ලස් දී ඔවුන් ලවා විවිධ දුසිරිත් සිදු කර ගත්තවුන්ද මෙම මහා නිරයේ පැසෙති.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

5.මහා රෞරව නිරය

අෂ්ඨ මහා නරක අතුරින් පස් වන නරකය වන මෙම නරකයෙහි උපත ලබන්නෝ පෙරදී සඳහන් කල නිරයේ සත්ත්වයින්ට වඩා මහා හඩින් විලාප දෙති. එබැවින් මෙම නිරය මහා රෞරව නිරය ලෙසින් හැඳින්වේ. ගිනි දැල් වලින් නිරන්තරයෙන් පිළිස්සෙමින් අපා දුක් විඳින සත්ත්වයින් සිටින මේ නිරය ජාල රෝරුව යන නාමයෙන්ද ධර්මයේ හඳුන්වා ඇත.

මෙලොව පමණක් ඇතැයි සිතා පරලොව විශ්වාස නොකරන්නවුන්ද, කර්ම ඵල විශ්වාස නොකරන්නවුන්ද, පොදු දේපළ සොරා කන්නවුන්ද, තම අඹු දරුවන් මුදලට විකුනූ අයද කර්මානුරූපව මෙම නිරයේ අපා දුක් විඳිති.

මිනිසුන් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

6.තාප නිරය

රක්ත වර්ණ වන තෙක් ගිනි ගත් අයෝමය උල් වලින් සිරුරු පාසා කරගෙන යන විටද නිසොල්මන්ව සිටීමට මෙම නිරයේ උපත ලද සත්ත්වයින්ට සිදු වේ. ඉතා දැඩි තාපය හමුවේ දුක් විඳීමට සිදුවන බැවින් මෙම නිරය තාප නිරය ලෙස  හඳුන්වයි. බොහෝ කලක් රත් වූ අයෝමය දඬු මතින් දුක් විඳිනා බැවින් මෙම නිරය තාපන හෙවත් චුල්ල තාපන නිරය නමින්ද ධර්මයෙහි දක්වා ඇත.

අධර්මිෂ්ඨව සතර අගතියෙන් රාජ්‍ය පාලනය කළ රාජ මහාමාත්‍ය වරුද, ජනතා බදු මුදල් අයතා ලෙස පරිහරණය කරමින් තම යසස වඩා ගත් නිලධාරීන්ද, තම වැටුපට සරිලන සේ අවංකව සේවය නොකරන සේවකයින්ද, මෙම තාප නිරයේ කර්මානුරූපව පහළ වී අකුසල කර්ම ක්‍ෂය වන තෙක් අපා දුක් විඳිති.

මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

7.ප්‍රතාප නිරය

අෂ්ඨ මහා නරක අතුරින් සත් වන නරකය වන මෙම නිරයේ පහළ වන සත්ත්වයින්ව ගිනි ගෙන දැවෙන අයෝමය කඳු මුදුන් වලට නංවා ලන අතර එහිදී හමන අධික උණුසුම් සුළඟින් දැවී පහළ ඇති ගිනියම් වූ අයෝමය පොළොව මතට ඇද වැටේ. සත්ත්වයාගේ අකුසල කර්ම ක්‍ෂය වන තාක් ඔවුහු මෙලෙස අපා දුක් විඳිති. ගිනියම් වූ ලෝහ බිම මත අදික ගිනි රශ්මියෙන් පිළිස්සෙන බැවින් මෙම නිරය ප්‍රතාප නිරය ලෙස හැඳින්වේ.

පණ පිටින් සතුන් සහ මිනිසුන් පිළිස්සීම, වාසස්ථාන ගිනි තැබීම, වනාන්තර ගිනි තැබීම, ආහාර පාන ගිනි තබා විනාශ කිරීම, අහාර පානාදියට වස විස එකතු කිරීම, කුරිරු ලෙස අවි ආයුධ පරිහරණය කිරීම, දුස්සීල භික්ෂූත්වය  වැනි පාපී ක්‍රියා සිදු කළ සත්ත්වයෝ කර්මානුරූපීව ඕපපාතිකව මෙම නිරයේ උපත ලබති.

මෙකී ප්‍රතාප නිරයේ ආයුෂ අන්තඃ කල්ප භාගයකි.

8.අවීචි මහා නිරය

 මෙය අෂ්ඨ මහා නිරයන්ගෙන් දරුණුතම නිරයයි. මෙම නිරයෙහි බුර බුරා නැගෙන ගිණි දැල් අතර පරතරයක් නොමැති බැවින් මෙහි පහළ වූ නිරිසත්ත්වයෝ නිරතුරුවම පිළිස්සෙමින් අපා දුක් විඳිති. මෙම නිසා මෙම නිරය අවීචිය ලෙස ධර්මයේ දක්වා ඇත. ඉතා දරුණු පාප කර්ම කළ පුද්ගලයින් මෙම නිරයට වැටී අපා දුක් විඳී.

පංච ආනත්තරීය පාප කර්ම, නියත මිත්‍යා දෘෂ්ඨිය වැනි බරපතල ගනයේ පාප කර්ම කළ සත්ත්වයෝ මෙම නිරයෙහි ඉපිද අනන්ත වූ අපා දුක් විඳිති. නන්ද, දේවදත්ත වැනි පුද්ගලයින් අපාගතව අවීචි මහා නරකයෙහි උපන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත.

මෙම භයංකර නිරයේ ආයුෂ අන්තඃකල්ප එකකි.

මෙවන් වූ අති භයංකර මතු භවයක් අපේක්‍ෂා නොකරන්නේනම් අද අදම කුසල් දහම් හි යෙදෙන්න.

මෙම නිරයන්ට අමතරව තවත් කුඩා නිරයන් පිළිබඳව හා නිර පාලක යම රජු පිළිබඳවද බුද්ධ දේශනාවේ දක්වා ඇත. ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියකින් නැවත හමු වෙමු.

(ඉහත පරිදි ලෝකයෙන් ලෝකයට කාලය වෙනස් වීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට "අවකාශ කාලය විදු ඇසින් හා බුදු ඇසින්" ලිපිය කියවන්න.)

තෙරුවන් සරණයි...!

මතු සම්බන්ධයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු මූලාශ්‍ර ලෙස ධර්ම ග්‍රන්ථ හා අන්තර් ජාලය භාවිතා කරන ලදී.)

Wednesday, August 17, 2016

සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana

     
සතර බ්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana

      බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී අකුසල සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලු බව ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත.

        මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. ශ්‍රී ලංකා ජාතික ධජයේ බෝ පත්‍ර සතරකින් නිරූපණය වන්නේ මේ උතුම් ගුණ ධර්ම සතරම වේ. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ. එවගේමේ රටක පාලකයකු තුල අනිවාර්යෙන් තිබිය යුතු වේ.

1.මෙත්තා (Meththa)

         සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් පළමු විහරණය මෙත්තා හෙවත් මෛත්‍රීයයි. මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව, සැපෙන් යුතුව ජීවත්වනු දැකීමයි. ද්වේෂයෙන් තොරව සමාජය දෙස බැලීමෙන් මෙම උතුම් ගුණාංගය ක්‍රම ක්‍රමයෙන් ප්‍රගුණ කර ගත යුතු වේ. ඒ අනුව තමා කෙරෙහි හිතවත්වීම, තම නෑ හිත මිතුරන් කෙරෙහි හිතවත්වීම, මධ්‍යස්ථ පුද්ගලයන් කෙරෙහි හිතවත්වීම, සතුරන් කෙරෙහි හිතවත්වීම ප්‍රගුණ කළ හැකි ය. එකවරම, සමස්ත ලෝකවාසී සියලු සත්වයා වෙත හිතවත්වීම කළ නොහැකි බැවින්, ක්‍රම ක්‍රමයෙන් එය ප්‍රගුණ කර වර්ධනය කොට, ව්‍යාප්ත කළ යුතු ය. ප්‍රථමයෙන්, තමා තමාට හිතවත්වීම අත්‍යවශ්‍ය වේ. තමාට හිතවත්ව තම හිතසුව සලසා නොගන්නා පුද්ගලයාගෙන්, අනුන්ට හිත සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව, තමාගේ නිරෝගී බව, සැපවත්බව දියුණුව සැමවිටම ළඟා කර ගත යුතු ය. ඊළඟට පියවරෙන් පියවර මව්පිය, සහෝදර සහෝදරියන්, නෑ හිතවතුන්, ගුරුවරුන්, මධ්‍යස්ථ පිරිස, සතුරන් කෙරෙහි ආදී වශයෙන් හිතවත්බව හිතවත්වීම කළ හැකිවේ. මෙසේ ක්‍රම ක්‍රමයෙන් පුහුණුව වර්ධනය වූ මෛත්‍රී සහගත සිත (හිතකාමීබව) සමස්ත සත්ත්වයා කෙරෙහිම යොදා ගන්නා අන්දම, කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළහ. ඒ අනුව, ක්‍රම ක්‍රමයෙන්, සිත තුළ හිතවත්භාවය වර්ධනය කර ගැනීමට දරන මානසික ව්‍යායාමය, මෛත්‍රී භාවනාව වශයෙන් හැඳින්වේ. එසේ උසස් මට්ටමට වර්ධනය වූ මෛත්‍රීය, බ්‍රහ්ම විහරණයකි.

2.කරුණා (Karuna)

            සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් දෙවන විහරණය කරුණාවයි. කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්, දරිද්‍රතාව ආදියෙන් පෙළෙන සත්ත්වයා, කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කොට ඉන් ගලවා ගැනීම, කරුණාවෙන් හදවත පුරවා ගත් පුද්ගලයාගේ ස්වභාවයයි. මිනිසකුගේ පමණක් නොව තිරිසන් සතකුගේ පවා අසරණභාවය, දුක්ඛිත භාවය දැක පිහිට වේ. ජාති, කුල, ආගම්, පරපුර, උස් පහත්කම් ආදිය ගැන නොසැලකේ. ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ තමන් දුක් පීඩා විඳිමින් වූවද, අන්‍යයන් දුක් පීඩාදියෙන් මුදවා ගෙන සැපවත් කිරීමට වෙහෙසෙති. තම සුඛ විහරණය ගැන පමණක් නොසිතන ඔවුහු සමාජයකට මහාර්ඝ වස්තු වේ. ආත්මාර්ථකාමීව, පටු හැඟීමෙන් ක්‍රියා කරන්නාට කරුණාව ව්‍යාප්ත කිරීම අසීරුය. කෙටියෙන් දක්වතොත් කරුණාව තම නිවසට, කාර්යාලයට, වැඩපොළට, ගමට රටට, ජාතියට පමණක් සීමා කර ගත යුත්තක් නොව, සමස්ත විශ්වයටම පොදුවේ ව්‍යාප්ත කරලිය යුතු, උතුම් ගුණ ධර්මයකි. මහා කරුණාවෙන් පිරි උතුමෝ, සමස්ත විශ්වය සිය පවුල ලෙස සලකා, අනුකම්පාවෙන් ක්‍රියාකර සෑම සත්ත්වයකුටම ශාන්තිය උදාකරති. ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේ ඊට හොඳම නිදසුනකි.

3.මුදිතා (Muditha)

          සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් තෙවන විහරණය මුදිතාවයි.  අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි. අන්‍යයන්ගේ දුක් දොම්නස්, කරදර හිරිහැර ආදියේදී අනුකම්පාව දැක්වීම තරමට අනුන්ගේ සැපත සතුට දියුණුව දැක සතුටුවීම, හෝ පී‍්‍රතිවීම පහසු දෙයක් නොවනු ඇත. එම අපහසු තත්ත්වය, යම් පුද්ගලයකුට තම සිත තුළ පහළ කර ගත හැක්කේ, නම් එය උසස්ම ස්වභාවයකි. සතුටට පත්වන්නේ තම නෑදෑයකු හිතවතකු නිසාද එය මුදිතාව නොවන අතර, කිසිදු භේදයක් නැතිව සමාජයේ ඕනෑම කෙනෙකුගේ සැපවත්වීම දැක අවංක සිතින් සතුටුවීම මුදිතා ගුණයයි. අල්ලස් ගැනීම, දූෂණය, සොරකම් කිරීම, මංකොල්ලකෑම ආදී දුසිරිත් තුළින් ධනවත්ව පී‍්‍රතිවන පුද්ගලයකු කෙරෙහි ඇති කර ගත යුත්තේ මුදිතාව නොව කරුණාවකි. දැනට තාවකාලික සතුටක්, ලැබුවත් ඔහු විසින් කරන ලද දුසිරිත් නිසාම අනාගතයේ දුකට පත්වන අන්දම සිතා බැලීමෙන් ඇතිවන්නේ අනුකම්පාවකි. මුදිතා ගුණයෙන් පිරි සමාජයක, භේද භින්නතා නැති අතර සොම්නස රජ කරයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඉස්මතු නොවේ. ආධ්‍යාත්මික ගුණවගාවෙන් අනූනය.

4.උපේක්‍ෂා (Upeksha)

           සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් සිවු වන විහරණය උපේක්‍ෂාවයි.  උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ.

බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. ක්‍රෝධයක්, වෛරයක් සිත තුළ ඇති වූ විට මොනතරම් අසහනයක් දැනේද? එසේම මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂා සිතිවිලි සිත තුළ හටගත්විට මොනතරම් සහනයක් දැනේද? මොනතරම් සැපතක් ද? මෙසේ සමස්ත සමාජයම පෙළ ගැසෙන්නේ නම්, ලෝකය මොනතරම් ලස්සන වේද?

          මෙහි සාකච්ඡා කළ කුමන ප්‍රතිඵලයක් වූවද ලබාගත හැක්කේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව පුද්ගලයාගේ චරිතයෙන් වෙන් කළ නොහැකී අන්දමට චරිතයේම කොටසක් ලෙස සලකා ප්‍රගුණ කිරීමෙනි. ඒවා චරිතය පුරා විහිදී, තදින් සිත තුළ කාවැදුණහොත් පමණි. ස්වකීයත්වයෙන් තොරව, මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග චරිතය පුරා වගා කර ගැනීමට හැක්කේ, මිනිසාට පමණි. මේ අන්දමට, කුඩා කළ සිටම මනස පුරුදු කිරීම තුළින් වර්ධනය වන මානසික ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ප්‍රබල වේ.

තෙරුවන් සරණයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම බෞද්ධ සාහිත්‍යමය මූලාශ්‍ර වලිනි.)